කුළුබඩු ලොවේ රජු ගම්මිරිස් – Black Pepper

කුළුබඩු ලොවේ රජු ලෙස සැළකෙන භෝගය වන්නේ ගම්මිරිස් භෝගයයි (Black pepper) . දිවයිනේ තෙත් හා අතරමැදි දේශගුණික කලාපවල ගම්මිරිස් වගාව බහුලව දැකගැනීමට පුළුවන්. එහෙත් වාරි පහසුකම් යටතේ වියළි කලාපයේ වුවද ගම්මිරිස් භෝගය වගා කිරීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක ප්‍රධාන වගා දිස්ත්‍රික්ක ලෙස හැඳින්විය හැකියි.

ගම්මිරිස් වගාව

මෙම කර්මාන්තයෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට නම් කෘෂිකාර්මික හා නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. සාමාන්‍යයෙන් ගම්මිරිස් තනි වගාවක් හෝ අතුරු වගාවක් හෝ මිශ්‍ර වගාවක් ලෙස වගා කළ හැකියි. එමෙන්ම ගම්මිරිස් යනු සෑම නිවසකම , ගෙවත්තකම තිබෙන භෝගයක් .එබැවින් ගම්මිරිස් ගෙවතු වගාව සඳහා ආර්ථික භෝගයක් ලෙස ද සලකනු ලැබේ.

බොහෝ අය තමන්ගේ පාරිභෝජනයට පමණක් ගම්මිරිස් (Black pepper) වගා කිරීමට පෙළඹී සිටින අතර ගම්මිරිස්වලට පවතින ඉහළ වෙළඳපොළ වටිනාකම හේතුවෙන් ඇතැමෙක් පරිභෝජනයට තබාගැනිමෙන් පසු අතිරික්ත අස්වැන්න අලෙවි කරනු ලබයි.මෙලෙස අතිරික්ත අස්වැන්න වෙළඳපොළට නිකුත් කිරීමේදී ගුණාත්මකභාවයෙන් වැඩි නිෂ්පාදනයක් ලබාදිය හැකි නම් ඉහළ වෙළඳපොළ වටිනාකමක් ලබාගැනීමේ හැකියාව පවතී.

ගම්මිරිස් වෙළඳපොළ

බොහෝ දෙනෙක් ගම්මරිස් අස්වැන්න නෙලූ විගස අමු ආකාරයෙන්ම හෝ හිරු එළියෙන් වේලා ගත් ගම්මිරිස් වෙළඳපොළට නිකුත් කිරීම සිදු කරයි. නමුත් අමු ගම්මිරිස් අලෙවියට වඩා වියළි ගම්මිරිස් අලෙවි කිරීම ගම්මිරිස් සඳහා ඇති වෙළඳපොළ වටිනාකම ඉහළ යාමට උපකාරී වෙයි.ගම්මිරිස් වෙළඳපොළබොහෝ දෙනෙක් ගම්මරිස් අස්වැන්න නෙලූ විගස අමු ආකාරයෙන්ම හෝ හිරු එළියෙන් වේලා ගත් ගම්මිරිස් වෙළඳපොළට නිකුත් කිරීම සිදු කරයි. නමුත් අමු ගම්මිරිස් අලෙවියට වඩා වියළි ගම්මිරිස් අලෙවි කිරීම ගම්මිරිස් සඳහා ඇති වෙළඳපොළ වටිනාකම ඉහළ යාමට උපකාරී වෙයි.

ගම්මරිස් වල ගුණාත්මකභාවය වැඩිකරගැනීමට හැකියාව ලැබෙන ක්‍රම කිහිපයක්ම තිබෙන අතර ගෙවතු වගාවේ නිරත වන අයට පවා ඉතාමත් ලෙහෙසියෙන් කරගත හැකි ක්‍රමයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු. එය ගම්මිරිස් අස්වැන්න සඳහා සිදු කරනු ලබන “උණුවතුර ප්‍රතිකාරය” හෙවත් Blanching ලෙස හඳුන්වනු ලබයි.

එහිදී පළමුවෙන්ම කළ යුතු වන්නේ හොඳින් මේරූ ගම්මිරිස් අස්වනු නෙලාගැනීමයි. මෙහිදී ගම්මිරිස් කරලෙහි ඇටයක් හෝ දෙකක් රතු සහ කහ පැහැවන අවස්ථාවේදී කරලෙහි අග ඇට අතින් පොඩි කළ විට පොඩි නොවන අවස්ථාව මේරූ අවස්ථාව ලෙස හඳුනාගන්න පුළුවන්. නෙලාගත් අස්වැන්න පැය 12-14ත් අතර කාලයක් ගොඩගසා තැබීමෙන් ඇට වෙන් කරගැනීමට පහසු වෙයි. නමුත් දින දෙකකට වඩා වැඩි කාලයක් මෙලෙස ගම්මිරිස් තබාගතහොත් එය ගම්මිරිස්වල ගුණාත්මකභාවයට බලපානු ලබයි.

ගම්මිරිස් ඇට වෙන් කිරීම සඳහා යන්ත්‍රයක් තිබේ නම් එය වඩාත් පහසු ක්‍රමයක් වනවා. මෙහිදී පැසුණු ඇට සහස නොපැසුණු ඇට කුඩාම ඇට වෙන් කිරීම මඟින් ඒකාකාරී නිෂ්පාදනයක් ලබාගත හැකියි. මේ සඳහා විවිධ ප්‍රමාණයේ සිදුරු සහිත කම්බි දැල් සවිකළ සල්ලඩ මෙන්ම බීජ තේරීමේ යන්ත්‍රත් භාවිත කිරීමට හැකියි.

ඉන් පසුව තෝරාගත් ගම්මිරිස් (Black pepper) ඇට පිරිසිඳු ජලයෙන් සෝදාගත යුතුයි. පිරිසිඳු වතුරෙන් සෝදාගත් ගම්මිරිස් ඇටවලට පෙර සඳහන් කළ උණුවතුර ප්‍රතිකාරය හෙවත් Blanching සිදු කළ යුතුයි. ඒ සඳහා නටන උණු ජලයේ මිනිත්තු 1-2ත් අතර කාලයක් ගම්මිරිස් ගිල්වා තබාගෙන ඉන්පසු ගම්මිරිස් ඇට ඉවතට ගෙන ජලය බේරෙන්නට හැර වියළා ගත යුතුය.

මෙම ප්‍රතිකර්මය සඳහාම සැකසූ විශේෂ උපකරණ කට්ටලයක් තිබෙනවා. ඒ උණුවතුර ප්‍රතිකාර කට්ටලය වෙත් blanching unit නැමැති උපකරණයයි. ජලය රත් කල හැකි බැරල් බාගයක් හෝ එවැනි විශාල භාජනයකින් සහ කුඩා දැලකින් (නොම්මර 10) සකස් කරගත් බැරල් බාගයට බහාලිය හැකි බදුනක් මෙම කට්ටලයේ අඩංගු වෙනවා. මෙම භාජනයේ 3/4 ක පරිමාවක් ජලයෙන් පුරවා නටවාගත් පසුව උණුවතුර ප්‍රතිකාරය ලබාදීම වඩාත් සුදුසුය. මේ සදහාද ගැලපෙන ක්‍රමවේදයක් ඔබටම සකස්කර ගැනීමට පුළුවන්. එමෙන්ම මෙම උපකරණ කට්ටලය සුදු යකඩින් නිමවා තිබීම නිෂ්පාදනයේ ගුණාත්මක බවට බලපාන බව මතකතබා ගතයුතුයි.

ඉනපසු ගම්මිරිස් ඇට හොදින් වියළා ගැනීම කලයුතු අතර හිරු එලියේ එක එල්ලෙම හෝ ඒ සදහා සැකසූ උපකරණ මගින්ද වියළා ගැනීම සිදුකරගත හැකියි. නමුත් ගම්මිරිස්වල 12% ක් පමණ තෙතමනය පැවතීම සුදුසුයි.

මෙම උණුවතුර ප්‍රතිකාරය මඟින් ගම්මිරිස්වල ගුණාත්මකභාවය රැකගැනීමට වාසි රැසක් සැලසෙයි. එනම් ඒකාකාරී තද කළුපැහැති, මතුපිට හොදින් රැලිගැසුණු ගම්මිරිස් ලබාගත හැකිවීම, අපද්‍රව්‍ය මෙන්ම ක්ශුද්‍ර ජීවීන් සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවීම, අව්වේ වේලීමට ගතවෙන කාලය හිතකර කාලගුණික තත්ව යටතේ දින 2ක් 3ක් දක්වා අඩුවීම, නියමිත තත්ත්ව යටතේ ගබඩා කල විට වැඩි කාලයක් ගබඩා කර ‍තබාගැනීමට හැකිවීම ආදිය දැක්විය හැකියි.

ඉතා ඉහළ අගයක් ඇති ආර්ථික භෝගයක් වන ගම්මිරිස් භෝගය කුඩා පරිමාණයෙන් හෝ වගා කිරීමෙන් මෙන්ම තමන්ට පහසු ක්‍රමෝපායන් භාවිතා කරමින් උණුවතුර ප්‍රතිකාරයද සිදුකරමින් නිවැරදිව සහ ගුණාත්මකභාවයෙන් යුතු ගම්මිරිස් අස්වනු සකසමින් ඉහළ වෙළඳපොළ වටිනාකමක් ලබාගත හැකිය.

එච්.ඒ.එල් සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරිනී
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
(ලියූ ලිපියක් ඇසුරෙනි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles