බස් ගාස්තු, පාසල් ප්‍රවාහන ගාස්තු සහ ත්‍රිරෝද ගාස්තු වැඩි වෙන ලකුණු

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට වහා කටයුතු කළ යුතු බව පෞද්ගලික බස් රථ සංගම් පවසා තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටින්නේ මීට පෙර ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් වැඩි කළ බවත් එය එතනින් නතර නොවී ඊයේ ද නැවත වතාවක් ඩීසල් මිල රුපියල් 5කින් වැඩි වී ඇති නිසා අනිවාර්යයෙන්ම බස් ගාස්තු ද වැඩි විය යුතු බවයි.

සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කරන්න කටයුතු සූදානම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද පවසනවා.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි ප්‍රකාශ කොට ඇති බව සඳහන් වෙනවා.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති ඒ.එච්.රුවන් ප්‍රසාද් පැවසුවේ වැට් බලපෑම සහ ඉන්ධන ගාස්තු වැඩිවීම හේතුවෙන් ගාස්තු වැඩි කිරීමට සිදුවී ඇති බවයි.

ඒ කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ ඉන්ධන මිල ඉහළ ගියද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles