අදානිගෙන් විදුලිය මිලදීගන්න කැබිනට් අනුමැතිය

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම (M/S Adani Green Energy Limited) විසින් ඉදිරිපත් කළ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

වසර 20ක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබෙනවා.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2022 මාර්තු 07 වෙනිදායි.

එම සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් “සාකච්ඡා සම්මුති කමිටුවක්” පත්කළ අතර යෝජිත ව්‍යාපෘතිය මගින් නිපදවන විදුලිය සඳහා මිල තීරණය කර ඇත්තේ එම කමිටුවේ නිර්දේශ මතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles