වියදම් විස්තරය හරියට නොදෙන අපේක්ෂකයන්ට වැඩ වරදී

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක පවසනවා.

පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළා.

මෙය 2023 අංක 03 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවත් 1947 වසරේ සිට සෑම මැතිවරණයක් අවසානයේදී දින 21ක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවත් ඔහු පවසනවා.

එසේම එය ලබා නොදීම මෙන්ම වැරදි තොරතුරු ලබා දීම යන කාරණා දෙකම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ ආකාරයට ධුරය සහ ප්‍රජා අයිතිය අහිමි වූ අවස්ථා ඉතිහාසයේ පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවර නව පනත මගින් මෙය නීතියක් බවට පත්ව ඇති බැවින් මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත අපේක්ෂකයින් තම ආදායම් වියදම් විස්තරය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවද සභාපතිවරයා සඳහන් කරනවා.

එසේ ලබාදෙන වියදම් විස්තරය කොමිෂන් සභාව මගින් මහජන ප්‍රදර්ශනය සඳහා පුවත්පත් දැන්වීම්වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බවද ඔහු පවසනවා.

ඒ අනුව වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට නීතියෙන් අවසර හිමිවන බවද සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles