රජය මගින් නියම කර තිබෙන උපරිම සිල්ලර මිල නොතකා වැඩි මිල ගණන් යොදා ඖෂධ සඳහා බිල්පත් නිකුත් කළ බොරැල්ල, නාරාහේන්පිට ප්රදේශයේ පෞද්ගලික රෝහලකට එරෙහිව ඖෂධ නියාමන අධිකාරිය මාලිගාකන්ද අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.
නුගේගොඩ, මද්දුවත්ත ප්රදේශයේ පදිංචි රෝගී කාන්තාවකගේ පුත්රයකු වන සනත් අතුකෝරල විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි ඖෂධ නියාමන අධිකාරිය මෙම නඩුව ගොනුකර ඇත්තේ.
ඉකුත් 2023 පෙබරවාරි 07 වැනිදා සිට පෙබරවාරි 19 දා දක්වා මෙම රෝගී කාන්තාව මෙම පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබා තිබෙන අතර, එහිදී ඇයට ලබාදුන් එන්නත් ඇතුළු ඖෂධ එකොළහක්ම රජය අනුමත කර තිබෙන මිලට වඩා වැඩි මිල ගණන් බිල්පතට ඇතුළත් කර ඇති බවයි මූලික විමර්ශනවලින් තහවුරු වී තිබෙන්නේ.
එසේම මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ රුපියල් 187ක් වන සේලයින් බෝතලයක් සඳහා රුපියල් 1685.20 ක මිලක්ද, Lyortam 1 GINJ (ERTATENEM) එන්නත උපරිම මිල වන රුපියල් 12,264 සඳහා රුපියල් 33447.30ක මුදලක් ද රුපියල් 6696.50 වන MERONES 1 G (MEROPENMEM) එන්නත සඳහා රුපියල් 17,730ක මුදලක් ද ආදී වශයෙන් නියම කර ඇති බවයි. ඖෂධ එකොළහක් සඳහා උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලක් මෙම රෝහල අයකර ඇති බව එහිදී හෙළිදරව් වී තිබෙනවා.
ඒ අනුව, ඖෂධ නියාමක අධිකාරිය අගතියට පත් අයට යුක්තිය ඉටුකරලීම සඳහා මෙලෙස අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.