“අපි වෙන් වන තරමට කියනා දේවල් කොහොමද උහුලා ගන්නේ. …අපි වෙන් වන තැනටම කටයුතු වන කොට කොහොමද බල බල ඉන්නේ..”
” මගේ ගොඩක් තියෙන්නේ විරහා ගීත. ඒ කියන්නේ බූට් සෝන්ග්ස් නෙ. ඒවා ඒ කාලෙ කියද්දී ඒ වෙනකොට මගෙන් බූට් කාපු අය හිටියා. හැබැයි මේ සින්දු කිව්වට පස්සේ මම බූට් එකක් කෑවා.
එතකොට ඒක දැනෙනවා වැඩියි මට. ඒ සමහර වෙලාවල් තිබිලා තියෙනවා ඒක මම විතරයි දන්නේ. වෙන කවුරුවත් දන්නෙ නෑ. මට ඒක කියා ගන්න බෑ. මගේ උගුර හිරවෙන තැනක් එනවා. මොකද මට ෆීල් වෙනවනේ මම මේ කියන සින්දුව මටම වෙනව නේද කියන එක. ඒ කියන්නෙ ඒක අත්විඳීමක් වෙනවා මට. නමුත් කරන්න දෙයක් නෑ. මං සින්ග් කරන්න ඕන. මොකද මගෙ ඉස්සරහ ඉන්න අයටවත්, කාටවත් ඒක අදාළ වෙන්නෙ නෑනේ. මට එයාලට පෙන්නන්නත් බෑ ඒ දේ. මට එහෙම වෙච්ච කාලයක් තිබුණා.”
රූපවාහිනී වැඩසටහනක අතරතුර මෙහෙම කිව්වේ ඉහත ගීතයෙහි හිමිකරු චාමික සිරිමාන්න. ඔහු අපි හැමෝම ආදරය කරන ගායන ශිල්පියෙක්. චාමික
අවුරුදු හතරකට පස්සෙයි ඉතාලියේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ඉන්නෙ.
ඔහු ගැන තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මෙච්චර කල් ප්රසංග වේදිකාවේ දැක්ක චාමික මේ ඊයෙ පෙරේදා දේශපාලන වේදිකාවකත් අපිට දකින්න ලැබුණා කියන එක.
ඔහු ඒ වේදිකාවේ දී අපූරු කතාවක් කරනවා.
චාමික කියනවා 2015 න් පස්සේ මොකක් හෝ පිනකට ඔහුගේ මොළේ පෑදුණා කියලා. මේ වේදිකාවට ගොඩ වුණේ ඔහුට අලුත් වූ මේ දේශපාලන ක්රමය අත්හදා බැලීමට බවත් එය රැල්ලට කළ දෙයක් නෙවෙයි කියලත් ඔහු කියනවා .
අවුරුදු හතරකට පස්සේ ඉතාලියේ ඉඳලා ඇවිල්ලා එයාර්පෝර්ට් එකෙන් බැස්ස මොහොතේ ඉඳලා මේ වෙනකල් ඔහුට ඉතාලියේ රෝමයේදී කරගන්න බැරි වුණ සමීක්ෂණය කරමින් ඉන්න බවත් ඔහු කියනවා.
හමුවෙන හැම දෙනාගෙන්ම මේ යන ක්රමය ගැන මොකක්ද දැනෙන්නේ, මේක වෙනස් කරන්න ඕනෙ නැද්ද කියන එක ගැන අහනව කියලත් චාමික එයාගෙ කතාවෙ දි කියනවා. තම අත්දැකීම් සහ අත්විඳීම් ගැන කියන්න මේ වේදිකාවට ආ බවත් ඔහු වැඩිදුරටත් කියනවා.
ඉතින් එහෙම එයාගෙ අදහස ඉදිරිපත් කළ චාමික පැමිණි සිටි පිරිස ගීතයකින් රස ගන්වන්නත් අමතක කළේ නැහැ .
චාමික ඒ ගීතය ගැනත් පොඩි අදහසක් මේ විදිහට කියලා , ගීතයෙන්ම ඔහුගේ කතාව අහවර කරලා වේදිකාවට සමු දුන්නා .
“තමන්ට තමන්ව පේන්නේ තමන්ගෙන් එළියට ඇවිල්ල තමන් දිහා බැලුවොත් තමයි .තමන් තමා විදිහට ඉන්නේ ඇත්තටම තනියම ඉන්න වෙලාවට විතරයි .”
“හිත හංගලා නැවතිලා බැලුවම මං මා දිහා …
දැනෙනවා පෙනේනවා මට මං නෑ කියා..”..
- වයලට් ප්රියදර්ශනී විතානගේ