දූෂණ චෝදනා සම්බන්ධයෙන් දිල්ලි මහ ඇමැති,දූෂණ විරෝධී ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් පොලිස් අත්අඩංගුවට පත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනාවක් ද දිල්ලි මහ ඇමැතිවරයාට එල්ල වී තිබෙනවා.
දිල්ලියේ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත සභාව ක්‍රියාත්මක කළ නීතිවලට පටහැනි අයුරින් මහ ඇමැති කෙජ්රිවාල් කටයුතු කර ඇති බවටත්, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය බවටත්, පෞද්ගලික අංශයේ හිතවතුන්ට විශේෂයක් කළ බවටත් චෝදනා ද ඔහුට ගොනු කර ඇති බව සඳහන් වෙනවා.
ඉන්දියාවේ දූෂණ විරෝධී හඬ ලෙස සැලකෙන්නේ ද ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ දේශපාලන පක්ෂය වන අතර එම පක්ෂය දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ 2015 වසරේ සිටයි.
ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට නියමිත වූ කාල සීමාව තුළ දිල්ලි මහ ඇමැතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගැනීම හා ආම් ආද්මී නායක කෙජ්රිවාල් සහ සෙසු පක්ෂ නායකයන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සිය කනස්සල්ල පළ තිබෙනවා.