රිජ්වේ ආර්යා ළමා මරණය : පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අසත්‍ය හා පදනම් විරහිතයි!

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ආබාධයක් නිසා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු මිය ගිය දරුවා සම්බන්ධ නඩුව 02 දින කැඳවනු ලැබුවා. එහිදී ඉදිරිපත් ව තිබූ වෛද්‍ය වාර්තා අතර පරස්පරයක් තිබෙන බැවින් වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි අධිකරණය විසින් බොරැල්ල පොලිසියට නියෝගයක් ලබා දුන්නා.

මිය ගිය දරුවාට වකුගඩු දෙකක් තිබුණු බව රෝහල් සායනික වාර්තාවල සඳහන් වුවත් මෙම දරුවාට උපතේ සිටම තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව සඳහන් කරමින් දරුවාගේ මරණයෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් විසින් දෙන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව බොරැල්ල පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළා.

එකී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අසත්‍ය හා පදනම් විරහිත වාර්තාවක් බවත් දරුවා රෝහලට ඇතුළත් කළ පසු හා ඊට පෙර සී. ටී. ස්කෑන් පරීක්‍ෂණ ඇතුළු ස්කෑන් පරීක්‍ෂණ 15 ක් පමණ සිදුකර ඇති බවත් එකී සියලු පරීක්‍ෂණවලදී එම දරුවාට වම සහ දකුණ ලෙස වකුගඩු දෙකක් පිහිටා තිබූ බව සනාථ වී ඇති බවත් පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෛද්‍ය වයි. එල්. එම්. යූෂුෆ් මහතා කරුණු දක්වනු ලැබුවා.

එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මින් පෙර ද අධිකරණය හමුවේ පැවැති හදිසි මරණවලට අදාළ නඩු කටයුතු අවුල් සහගත වන ආකාරයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ යැයි විවෘත අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන්ට පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම දරුවාට තිබුණේ එක් වකුගඩුවක් බව දන්නේ නම් එයත් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තරම් වෛද්‍යවරුන් මෝඩ දැයි කියා තමාට සිතාගත නොහැකි යැයි ද පවසා සිටියා.

මෙහිදී අධිකරණය පොලිසියට දන්වා සිටියේ උක්ත අධිකරණ වෛද්‍ය වාර්තාව මතම පිහිටා කටයුතු නොකර ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසයි.

දරුවාට ප්‍රතිකාර කළ සායනික වෛද්‍ය වාර්තා සියල්ල අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙසට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණු අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 9 වැනි දිනට කල් තැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles