වසරක් ගත වන තෙක් කිසිදු චීන පර්යේෂණ නෞකාවකට (ඉන්දියාව මෙම නෞකා ඔත්තු සේවා නෞකා ලෙස හඳුන්වනවා) මෙරට වරාය වෙත ඇතුළු වීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට දන්වා ඇතැයි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
පසුගිය ජුලි මාසයේ ඉන්දීය උපායමාර්ගික සහ ආරක්ෂක අවශ්‍යතාවලට ගරු කරන ලෙස අගමැති මෝදි ජනපති රනිල්ගෙන් ඉල්ලා සිටීම අනුව මෙම පියවර ගෙන ඇති බවයි එම වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ.
ඒ් අනුව 2024 ජනවාරි 5 සිට මැයි අග දක්වා දකුණු ඉන්දීය සාගරයේ ‘‘ ගැඹුරු ගවේෂණ“ සිදු කිරීමට නියමිතව තිබූ චීන පර්යේෂණ නෞකාවක් වන Xiang Yang Hong 3 සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවසරය ලබා නොදෙනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය විශ්වාසය පළ කරනවා.
මෙයට පළමුව චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6 ඔක්තෝබර්-නොවැම්බර් මාසයේ සමුද්‍ර පර්යේෂණ සඳහා පැමිණි විටදීත් ඉන්දියාව සිය විරෝධය පළ කළ නමුදු මෙරට සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල සංවත්සරය පදනම් කරගනිමින් ඒ සඳහා අවසර දීමට වික්‍රමසිංහ රජය ක්‍රියා කරනු ලැබුවා.
ඉන්දියන් සාගරයේ නැගෙනහිර සහ බටහිර වෙරළාසන්නයන්හි චීන පර්යේෂණ යාත්‍රා 50කට ආසන්න ප්‍රමාණයක් කටයුතු කරන අතර එය ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ නොමනාපයට හේතු වී තිබෙනවා.