සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මුහුණදීමට සිදුවන බව පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කරන ලද නියෝගයක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන්.
ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා පවසා සිටියේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිකම භාරගනු ලැබුවේ අභියෝග රැසක් මැද බවයි.
තමාට කාර්යාලයක් නොමැති බවත්, සේවය කිරීමට ඇත්තේ තිදෙනෙකු පමණක් බවත් සඳහන් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඇතැම් විට ඔවුන්ට තම පෞද්ගලික මුදලින් වැටුප් ගෙවන බවයි.
එමෙන්ම ගල් අඟුරු ප්‍රශ්නය, සීනි බදු වංචාව හා මහ බැංකුවේ වැටුප් ප්‍රශ්න පිළිබඳව මුදල් කාරක සභාවෙන් දිගින් දිගටම කතා කිරීම නිසා තමා ප්‍රශ්න රැසකට මැදි වූ බව ද පවසනවා.
ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් ද එවැනිම තත්ත්වයක් ඇති වූ නමුත් තමා එම සිදුවීම යට ගැසීමට උත්සාහ ගන්නා බවට පුවත් පළ වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.
එවැනි දෙයක් සිදුකරනු ලබන්නේ කාගේ උවමනාවකට ද යන්න තමා ප්‍රශ්න කර සිටින බවත් , තම ජීවිතයට යම් බලපෑමක් එල්ල වුවහොත් කථානායකවරයාද ඊට වගකිව යුතු බවත් ඔහු අවධාරණය කරනවා.