ක්ලබ් වසන්ත ඝාතනය : ටැටූ ආයතන හිමිකරු ඇතුළු 5කගෙන් ප්‍රශ්න කෙරේ

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය පවසනවා.

අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරන්නේ.

වෙඩි තැබීම සිදුවූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන සහ ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළාගිය වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

බුලත්සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අදාළ වෑන් රථය සොයාගෙන ඇති බවයි පොලිසියි පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles