ක්ලබ් වසන්ත ඝාතනය : ටැටූ ආයතනයේ හිමිකරුගෙන් රහස් ප්‍රකාශයක් කිරීමට ඉල්ලීමක්

ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවසර ඉල්ලා තිබෙනවා.

ඒ ඔහු ඇතුළු ව සැකකරුවන් 7 දෙනා ඊයේ (10) දිනයේදී කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දීයි.

නැවත වතාවක් සිතා බලා එම ඉල්ලීම සිදුකරන ලෙසයි එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත්තේ.

මේ අතර, සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියත් ඊට අවසර ලබානොදුන් අධිකරණය, එම සැකකරුවන් ජුලි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.

එමෙන්ම බන්ධනාගාරය තුළ ලොකු පැටී නම් අපරාධකරුගේ සගයන් සිටින බැවින් අදාළ සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසද අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ බව සඳහන්.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක දී සිදු කළ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සහ ප්‍රසිද්ධ ගායන ශිල්පී කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමැත්තා ද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ හා ඔහුගේ ඥාතී හිතවතෙකු තුවාල ලැබුවා.

ඒ අතරින් මේ වනවිටත් ක්ලබ් වසන්තගේ බිරිඳ හා ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ බරපතළ තත්ත්වයෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගායන ශිල්පිනී කේ. සුජීවාගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව පැවසෙනවා.

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත අතර දේහය හෙට (12) පෙරවරුවේ 8.30 සිට මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles