අධිකරණයට අපහාස කරලා: සුරාබදු කොමසාරිස් ඇතුළු 4කට එරෙහිව පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළෙඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු හතර දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ‍ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කර‍ ඇති බව සඳහන්.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් අප්‍රේල් මස 02 වෙනිදා ‍ අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලූ අවස්ථාවේදී පවතින සුරාබදු නීති රෙගුලාසිවලට පරිබාහිරව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළ බවයි.

එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් වග උත්තරකරුවන් විසින් දේශපාලකයින්ගේ හිතවතුන්, ඔවුන්ගේ ඥාතීන් හා සුපිරි වෙළෙඳසැල් ජාල සඳහා අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් අදාළ පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ තුළින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් හතරදෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles