පිරිවැය වැඩියි- වැටුප් වැඩිකරන්න බෑ-වතු සමාගම්

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යංශය විසින් නිකුත් කල ගැසට් පත්‍රය අනුව තේ වතු සමාගම් 22 කට වාර්ෂිකව රුපියල් බිලියන 48 ක අමතර පිරිවැයක් දැරිමට සිදුවන බව වතු සමාගම් පවසනවා.

දැනට වතු කම්කරුවෙකුට දෛනික ගෙවනු ලබන රු 1000 වැටුපට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහිතව රු 1150 ක් ගෙවීමට සිදු ව ඇති පසුබිමක නව වැටුප අනුව තේ වතු සමාගම් වලට 70% ක අමතර පිරිවැයක් දැරීමට සිදු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රජය මගින් වැඩිකල රු 1700 දෛනික වැටුපට සියලු දීමනා සහිතව රු 1900 ක පමණ මුදලක් ගෙවීමට සිදු වී ඇති බවත්, එම මුදල ජූලි මස සිට ගෙවීමට කටයුතු කරමින් සිටින නමුත් අදාළ වැටුප් වැඩි කිරීම සියළුම තේ වතු සමාගම් වලට කිරීමේ හැකියාවක් නොමැති බවත් වතු සමාගම් සඳහන් කර සිටිනවා.

කෙසේවෙතත් ජූලි මස සිට එම වැටුප ගෙවීමට නම් ඩොලරයේ වටිනාකම තවදුරටත් ස්ථාවර තත්ත්වයේ පැවතිය යුතු බවත්, පවත්නා තත්ත්වය මත වතු කම්කරුවන්ට දිනකට වැටුප් දෙකකට වැඩකිරීම සහ සති අන්ත නිවාඩු දිනයන් සහ පොහෝ දිනයන් වලත් ලබාදෙන වැඩ දින ගණන නතර කිරිමට සිදු වන බවත් ඔවුන්ගේ මතයයි.

තවද නව වැටුප ගෙවීමත් සමග තේ වගා කිරීම, තේ වතු සුද්ද පවිත්‍ර කිරීම සහ තේ වගාවට රසායනික පොහොර සහ කෘමිනාශක යෙදීම සීමා කිරීමට සිදු වන බවත්, ඒ තුළින් තේ වගාවේ අස්වැන්න අඩු වී ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා තිබෙන ඉල්ලුමට සරිලන තේ සැපයුමක් ලබාදිමට නොහැකිවීම හමුවේ ඉන්දියාව සහ තේ අපනයනය කරන අනෙකුත් රටවල් වලට වාසිදායක තත්ත්වයක් උදාවන බවයි වතු සමාගම් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles