ව්‍යාජ ඖෂධ ජාවාරම: වංචනික සමාගමට මුදල් දෙන්නැයි අත්අකුරෙන් ම ඉල්ලලා!

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලට ගනිමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වන නඩුව මේ දිනවල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වනු ලබනවා.

මෙහිදී හෙළිවන කරුණු පුදුමසහගත බවයි පෙනී යන්නේ. ස්නායු රෝගීන් වෙනුවෙන් භාවිතා කරන ‘ඉමියුග්ලොබින්‘ ප්‍රතිදේහ ව්‍යාජ ලෙස සකසා ගෙන්වා රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් අයසුලේට් බයෝටෙක් ෆාමා නම් සමාගමට එරෙහිව නඩු කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. ඒ්‍ අතර හෙළිදරව්ව ඇත්තේ පිළිකා රෝගීන් සඳහා භාවිත වන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් ද එම ආයතනය විසින් ම වංචා කර ඇති බවයි.

මෙම මුදල් මුදාහරින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත ටෙන්ඩර් පත්‍රිකාවේ සිය අත්අකුරින් ම සටහනක් යොදා තිබුණු බව පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට දන්වනු ලැබුවා.

අදාළ සමාගම් හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමනස්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර යන අය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට කළ නියමය අනුව අධිකරණට නොපැමිණී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles