මධූෂ්ගේ මරණය පිළිබඳ විමර්ශන ගැන අධිකරණයට මෝසමක්

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ එම මෝසමට අනුව මෙම නඩුකරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ අද කැඳවනු ලැබූවා.

එම අවස්ථාවේදී මිය ගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන්.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අදාළ ව එවැනි නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

එහෙත් අගතියට පත් පාර්ශ්වයට අවශ්‍ය නම් අදාළ ආයතන වෙත ගොස් පැමිණිලි කර විමර්ශන ඉල්ලා සිටීමට හැකියාවක් තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා උපදෙස් දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මාලිගාවත්ත පොලීසියට නියෝග කළ බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles