මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය බව කියන බිලිඳාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස අද නියෝග කළා.
සිය බිලිඳාගේ අනන්‍යතාවය තහවුරු කරගැනිම සඳහා එම මව්පියන් DNA පරීක්ෂණයක් ඉල්ලා සිටි අවස්ථාවේ රෝහල් අධ්‍යක්ෂවරයා ඊට විරෝධය පළ කර තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියද ඊට ලැබී තිබූ අවස්ථාවකදීය.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස රෝහල වෙත පැමිණ, රෝහල් බලධාරීන් මව්පියන්ට පෙන්වූ බව කියන බිළිඳු මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ද සිදුකරන ලෙසටය.
මාතර වැලිගම පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී තිබුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය.
මදුෂානි රෝහල් ගතකළ දා ම ඇය දරුවා ප්‍රසූත කළත්, බිලිඳා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් ඇයට දැනුම් දී තිබෙනවා.
නමුත් මියගිය බව කියූ සිය බිලිඳාගේ මළ සිරුර රෝහල් බලධාරීන් මව්පියන්ට නොපෙන්වීම සහ ඒ පිළිබඳව බලධාරීන් කළ බව කියන පරස්පර ප්‍රකාශ හේතුවෙන් බිලිඳාගේ මව්පියන්ට ඒ පිළිබඳ සැකයක් ඇති වී තිබෙනවා.
කෙසේ වෙතත් බිළිඳු මරණයකදී රෝහලක් අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ මළ සිරුර පිළිබඳ ඉදිරි කටයුතු සඳහා අනිවාර්යයෙන්ම මව්පියන්ගේ කැමැත්ත විමසා සිටිමයි.