කන්ජිපාණිගේ පියාට දුන් අධිකරණ නියෝගය

මෙරට ප්‍රබල අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කරුවෙකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් කාසිම් නොහොත් කන්ජිපාණී ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (28) නියම කළා.

මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව කන්ජිපානි ඉම්රාන් හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම යන කරුණ පදනම් කරගෙන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්ට මෙම දඩය නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළහොත් ඇප රාජසන්තක කරන බවද දන්වා සිටියා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ ඇපකරු ලෙස රුපියල් ලක්ෂ හතලිහක ශරීර ඇපයකට අත්සන් කළ මොහොමඩ් නජීම් වන්දනා ගමනක් යෑම සඳහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අදාළ අවසරය ලබාදීමට පෙර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත්දැයි අධිකරණයෙන් විමසා සිටියා.

එහිදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණය මගහැර පලායෑම ,ඇපකරුට සැකකරු ඉදිරිපත් කිරීමට නොහැකිවීම යන කරුණු මත ඇප රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් නැතහොත් අදාල ඇපය දඩයක් ලෙස ගෙවන ලෙසටත් නියම කළා.

එහිදී ලක්ෂ 40ක මුදලක් තැන්පත් කිරීමට නොහැකි බව ඇපකරු අධිකරණයට දන්වා සිටි අතර කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ විස්සක දඩයක් ඇපකරුට නියම කරමින් විදේශගතවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කිරීමට එරෙහිව පැවරූ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී මෙම දඩය නියම කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles