දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය : මෛත්‍රීට අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද, නැද්ද යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබා දී තිබෙනවා.

තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන් බව සඳහන්.

එහිදී පෙත්සම්කරුට එරෙහිව නිකුත් ලිපිය ඉවත් කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙසට අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන මහලේකම් සරත් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම ජූනි 25 වෙනිදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම තීරණය දැනුම් දෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට දැනුම් දු බව සඳහන් වෙනවා.

ශ්‍රී.ල.නි.ප මහලේකම් ධූරයෙන් මෙන්ම පක්ෂ සාමාජිකත්වයෙන්ද තමාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර පසුගිය වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එහෙත් දයාසිරි ජයසේකර ඉවත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ ද එම අධිකරණය විසින් ද අදාළ වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පසුව අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව දයාසිරි ජයසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කිරීමට කටුයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles