මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි සහ මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඊට අමතරව දෘශ්‍ය අංශු පැවැතීම, පෙති කැඩී යාම, වර්ණය වෙනස්වීම, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන වැනි ලක්ෂණ ඇතුළු විවිධ ප්‍රතිපල රැසක් ද එම ඖෂධවලට අදාළව හඳුනාගෙන තිබූ බව වාර්තාවේ දක්වා තිබෙනවා.
මේ හේතුවෙන් ඖෂධ රැසක් භාවිතයෙන් ඉවත් කර තිබූ බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.
මෙලෙස කැරපොත්තන් සහ වීදුරු කැබලි තිබී හමුවී ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ, ආසාත්මිකතා, ඇඳුම, පිළිකා, හෘද රෝග, අක්ෂි ආසාදන හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවලය.
රජයේ රෝහල් සඳහා පසුගිය 2022 වර්ෂයේදී නිකුත් කළ වෛද්‍ය සැපයීම්වලින් රුපියල් කෝටි 35 ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර තිබූ බවත් තවත් රුපියල් කෝටි තුනකට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීම හේතුවෙන් භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
මෙම තත්වය ගැන විගණන නිලධාරින් වසර ගණනාවක් තිස්සේ අනාවරණය කළ ද අවම කර ගැනීමට කටයුතු කර නොතිබුණු බව පවසන එම වාර්තාව පසුගිය වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 24 කට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීමෙන් භාවිතය අත්හිටුවා තිබූ බව ද ඔවුන් අවධාරණය කරනවා.
එමෙන්ම සැපයුම්කරුගේ සුදුසුකම් හා ඖෂධයේ තත්වය පිළිබඳව පරීක්ෂා කිරීමෙන් තොරව ඖෂධ සැපයීමට පහසුකම් දීමෙන් ඖෂධ සම්බන්ධයෙන් අවදානමක් මතුවන බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව ඇති රුපියල් කෝටි එකසිය හතළිහකට වැඩි මුදලක් මෙතෙක් අය කරගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ දක්වා තිබෙනවා.