ලාල් සරත්කුමාර කලාකරුවා හදිසියේ රෝගාතුර වීම නිසා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 69 වැනි වියේ පසු වුණා.
ඔහු ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ සහන හඬ පරිපාලකවරයෙක් ලෙසින්. කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ලලිත් එස්. මෛත්‍රීපාල, ප්‍රේමකීර්තිද අල්විස්, දයා ද අල්විස් වැනි ප්‍රවීණයන් ඇසුරේ අත්දැකීම් ලැබූ ඔහු පසුව ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙසින් එක්වන්නේ දයාද අල්විස්ගේ නාට්‍යයකටයි.
සිරස ගුවන්විදුලිය ආරම්භයේදී ඔහු එයට වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසින් සම්බන්ධ වුණා. ගුවන් විදුලි නිවේදකයෙක්, නිෂ්පාදකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක්, ප්‍රවෘත්ති නිවේදකයෙක්, බාහිර විස්තර විචාරකයෙක් ලෙසින් විවිධ අංශවල ගුවන්විදුලියේ සැරිසරන ඔහු හඬ කැවීම් ශිල්පියෙක්ද ලෙසින්ද කටයුතු කළා. පසුව සිරස ගුවන්විදුලිය ආරම්භයේදීම ඔහු වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස ඊට සම්බන්ධ වුණා. එසේ ම ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසින් ද නමක් දිනාගෙන සිටියා.
බොහෝ ජනප්‍රියත්වයට පත් සූරපප්පා කාටුන් මාලාවේ සීසර්ගේ හඬ බොහෝ දෙනෙකුට අමතක නොවන හඬක්. එයට හඬ කවනු ලැබුවේ ද ලාල් සරත්කුමාර ශිල්පියා යි. පසුගිය ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියා ලෙසින් සම්මානිත වීමට ද මෙම ශිල්පියා සමත් වුණා.