දේශබන්දුට පොලිස්පති ධුරය තහනම්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කර ඇතැයි සඳහන්.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ, මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වනතෙක් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම, බලතල ක්‍රියාවේ යෙදවීම, රාජකාරී ඉටුකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් කරන බවත් විනිසුරු මඩුල්ල දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනුකිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් නැවත නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙසත් නියෝග කළ බවයි සඳහන් වන්නේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles