පාලිත තෙවරප්පෙරුම හිටපු ආමත්‍යවරයා විදුලි සර වැදී මිය යෑම සම්බන්ධයෙන් බොහෝ දෙනා සිය කණගාටුව පළ කරනු ලබන්නේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරවයි. ඔහු එක්සත් ජාතික පක්ෂය කළුතර දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.
ඔහු ආත්මාර්ථකාමී දේශපාලන භාවිතාවකට වඩා පරාර්ථකාමී දේශපාලනයක නියැළුණු අයෙක් බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.
සාමාන්‍යයෙන් මහජන නියෝජිතයාගේ කාර්යභාරය ප්‍රතිපත්ති සම්පාදනය මූලික වුවත් තෙවරප්පෙරුම ජනතාව වෙනුවෙන් කැපවී බිමේ වැඩ කළ අයෙක්. ගංවතුර වැනි ආපදා තත්වයන්වලදී තෙමේම මැදිහත් වී කටයුතු කිරීම ආහාර පාන බෙදා දීම සිදු කරනු ලැබුවා. එසේ ම ජනතාවට අසාධාරණයක් වන අවස්ථාවලදී සාම්ප්‍රදායික දේශපාලකයාගේ ක්‍රමයෙන් බැහැරවී කටයුතු කළා. ඔහු ඇමැති ධුර දරමින් ම පවා උද්ඝෝෂණ කළ අයුරු එවක මාධ්‍ය වාර්තා කළා.
බොහෝ දෙනා තෙවරප්පෙරුම හඳුන්වන්නේ හිත හොඳ මිනිසෙක් ලෙසයි. සාමාන්‍යයෙන් මෑත කාලයේ දේශපාලකයෙකු මළ පසු ලැබෙන ප්‍රතිචාරවලට වෙනස් ප්‍රතිචාරයි තෙවරප්පෙරුම වෙනුවෙන් ලැබෙන්නේ.
කෙසේ වෙතත් 2015 වසරේ දී සිය පුතුගේ අකල් වියොවෙන් පසුව ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් ව සිටි හිටපු ඇමැතිවරයා ගම් මට්ටමින් තම කටයුතු කරමින් ජීවත් වුණු බවයි සැළවන්නේ.
මතුගම, යටදොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් වත්තක පොහොර දමමින් සිටියදී විදුලිය සහිත වයරයක් පෑගීමෙන් ඔහු අනතුරට ලක් වූ බව ඔහුගේ ඥාති පුත්‍රයා පවසනවා.
“බාප්පගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා.එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.”
හිටපු ඇමැතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් සිට ඇත්තේ අසාධ්‍ය තත්වයෙන්.
ඔහු රෝහල්ගත කරන අවස්ථාවේ කිසිදු දේශපාලකයෙක් සහභාගි නොවුවද ජනතාව විශාල වශයෙන් පොදි කමින් රැස් වූ බවයි වාර්තා වන්නේ.
ඡායාරූප පහතින්,