මාතර බිළිඳා ප්‍රසූතියේදි මැරුණා ද? විකිණුවා ද?

ප්‍රසූතියේ දී මියගිය බව කියන බිලිඳෙකුගේ මෘතදේහය හෝ පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ ‍‍‍‍‍කාර්ය මණ්ඩලය පියවර නොගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

බිළිඳාගේ ඥාතීන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවය.

මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා වන අතර එම රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පෞද්ගලික වෛද්‍ය සායනයකට ඇය සහභාගී වී තිබුණා.

ඇය දරු ප්‍රසූතිය සඳහා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල තෝරාගෙන ඇත්තේද ඒ අනුවයි.

බිලිඳා කුස තුළ නිරෝගී තත්ත්වයෙන් පසුවන බවට පෞද්ගලික සායනයේ දී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී මෙන්ම දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත්වූ දිනයේ සිදුකළ ස්කෑන් පරීක්ෂණයෙන් ද තහවුරු වී ඇති බව සඳහන්.

මදුෂානි රෝහල් ගත කර පසුදින රාත්‍රියේම ඇය සිය කුළුඳුල් දරුවා මෙලොවට බිහිකළ නමුත්, ඉන් අනතුරුව බිලිඳා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් දැනුම් දී තිබෙනවා.

අනතුරුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති දේහය මිහිදන් කිරීම සඳහා මාතර නගර සභාවට රුපියල් 2500ක මුදලක් ගෙවා රිසිට් පතක් රැගෙන පැමිණෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ට පැවසීම නිසා ඔවුන් නගර සභාවට අදාළ මුදල ගෙවීමට කටයුතු කර තිබෙනවා.

බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම සම්බන්ධයෙන් ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවය.

පසුව ඔවුන් බිළිඳාගේ මරණ සහතිකය ඉල්ලා සිටීමේදී කියා ඇත්තේ පසුගය 09 වෙනිදායින් පසු රෝහල තුළ කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවය.

මියගිය බිලිඳාගේ මෘතදේහය හෝ ලබාගැනීමේ අදහසින් 25 වෙනිදා රාත්‍රිය වන තුරුම ඥාතීන් රෝහල් භූමියෙහි රැඳී සිටි නමුත් මෘතදේහය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සමත්වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles