පොලිස් සැරයන් මැරූ වෙඩිල්ල ආවේ පොලිස් තුවක්කුවකින් ම ද?

අද අලුයම මාතර, වැලිගම ආසන්නයේ සිදු වූ වෙඩි හුවමාරුවකදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන්වරයෙකු මිය ගිය අතර උපපොලිස් පරීක්ෂකවරයෙකු බරපතළ තුවාළ ලැබුවා.

නඳුන් චින්තක නොහොත් හරක් කටා නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා රහස් පොලිස් භාරයෙන් පැන යෑමට තැත් කිරීම සම්බන්ධ විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් වැලිගම ප්‍රදේශයට ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ.

කෙසේ වෙතත් විමර්ශනයට ගිය ස්ථානයේ සැකසහිත පුද්ගලයෙකු සිටි බවත්, එහිදී වෙඩි හුවමාරුවක් සිදුවූ බවත් සඳහන් වෙනවා. ඒ අතර ජංගම මුර සංචාරයක නිරත වූ වැලිගම පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම සිදුවීම දැක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැමිණි වාහනයට වෙඩි තබා තිබෙන බවයි කියැවෙන්නේ.

වාර්තා වන කරුණු අනුව වැලිගම පොලිසියේ නිලධාරීන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හඳුනාගෙන නැහැ. සාමාන්‍යයෙන් වෙනත් පොලිස් බල ප්‍රදේශයක මෙහෙයුමක් සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු වන්නේ නම් අදාළ පොලිස් ස්ථානය දැනුම්වත් කළ යුතු වුවත් මෙම මෙහෙයුමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ පැමිණීම වැලිගම පොලිසියේ නිලධාරීන් දැන නොසිටි බවයි වාර්තා වන්නේ.

මෙහිදී සැරයන්වරයාගේ මරණය වැලිගම පොලිසියේ ප්‍රහාරය නිසා සිදුවූවක් ද යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිශ්චිතව තහවුරු නොකළත් ආරංචි මාර්ග වාර්තා කරන්නේ පොලිස් සැරයන්වරයාග‍ේ‍ මරණය වැලිගම පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීම නිසා සිදු වූවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles