යාපනය ප්‍රදේශයේ වඩුක්කොඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නාගරාජා ඇලෙක්ස් නම් තරුණයා මරණයට පත් වූයේ අත්අඩංගුවේ සිටියදී අමානුෂික වද හිංසා ලක්ව බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් පවසනවා.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නොවැම්බර් 11 වැනි දා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද මිය ගිය තරුණයාගේ ඥාතීන් පවසන්නේ ඔහු අත්අඩංගුවට ගත්තේ 8 වැනි දින බවයි. පොලිස් ලියාපදිංචි පොතේ ද ලියාපදිංචි කර තිබෙන්නේ 11 වැනි දින අත්අඩංගුවට ගත් බව යැයි නන්දිමාල් පවසනවා.
කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මෙම තරුණයා මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කර ඇත්තේ තමාට නොසෑහෙන අමානුෂික වද හිංසා පැමිණවූ බවයි.
එම අවස්ථාවේ ඔහුව රෝහල් ගත කර ඇති අතර 16 වන දින නැවත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම පුද්ගලයා 18 වන දින මියගිය බවයි බන්ධනාගාරය පවසන්නේ.
මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීම සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අද දිනයේදී මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළ කරනු ලැබුවා.