ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් ඇඟ මත පෙරළීමෙන් සය හැවිරිදි ෂෙහන්සා නිත්සරණි මල් කැකුළ ජීවිතයෙන් සමුගත්තා.
ඇය මිය ගිය ඊයේට ඇගේ සය වැනි උපන් දිනය යෙදී තිබුණ බවයි දැනගැනීමට ලැබුණේ. පන්තියේ මිතුරන් සමඟ උපන් දින කේක් අනුභව කර වතුර බීමට ගිය අවස්ථාවේ මේ අතිශය අවාසනාවන්ත සිදුවීම සිදුවුණ බවයි කියැවෙන්නේ.
මෙවැනි ඛේදවාචකයක් අසන දකින ඇස කඳුළු නංවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. විශේෂයෙන් මෙම අනතුරු වළක්වාගත හැකි අනතුරු නිසාවෙන්, සිදු නොවිය යුතු අනතුරු නිසාවෙන් සමාජයක් ලෙස එම සිදුවීමේ වගකීම භාරගත යුතු වනවා.
කිසිදු ප්‍රමිතියකින් තොර ඉදිකිරීම්, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂා නොකිරීම් ආදී විවිධ හේතු මේ පිටුපස තිබිය හැකි වුණත් කුඩා දැරියගේ දිවිය දැන් මිලිනව ගොස් අවසන්.
දෙවැනි නිවස ලෙස පාසලට දරුවන් එවා සවස නැවත පැමිණෙන තුරු මව්පියන් සිටින්නේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයෙන්. ජීවිකාව සරි කරගැනීම පිළිබඳ සටනක. පාසල්වලට යන දරුවන්ගේ ජීවිත මෙවැනි අවිනිශ්චිත නම් දෙමව්පියන් පාසල්වලට දරුවන් එවන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්.
මේ පාසලේ කඩා වැටී ඇති පුවරු ආදිය දෙසත් පාසලේ වට අවට පරිසරය දෙසත් බැලීමේදී මෙය කොළඹ පාසලක්දැයි පැනයක් පවා නැගෙන තරම්. එහෙත් බොහෝ දෙනා නොදන්නා කරුණ නම් කොළඹ එවැනි අඩුපහසුකම් සහිත බොහෝ පාසල් තිබෙන බවයි. දෙව්ලෝ අසබඩම නරකාදි පවතිනවා. බොහෝ විට පරිධියේ ජීවත් වෙන, මුඩුක්කු නිවාසවල ජීවත් වෙන මිනිසුන්ගේ දරුවන්ට හිමි පාසල් ඒවා බව බොහෝ අය දන්නේ නැහැ.
මිලියන ගණන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන බවත් තවත් විශ්ව විද්‍යාල ගොඩ නගන බවත් පාරම් බෑවද ( ඒවා කළ යුතු වීම ගැන විවාදයක් නැහැ) මෙවැනි තත්වයන් වැළැක්වීමට ක්‍රියාමාර්ග නොගන්නවා නම් දිනාගන්නා කිසිදු ජයග්‍රහණයක් පලදායකවත් වටිනාකමක් ඇති කරන්නේවත් නැහැ.