රුසියාවේ සිර වී සිටින කුලී හමුදා සෙබළු ගැන අනාවරණයක්

රුසියාවට ගොස් සිටින සමගි ජන සන්ධානයේ ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රී කණ්ඩායම ඊයේ(04) දිනයේදී රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ වාර්තාවේ සඳහන් වන ආකාරයට දැනට විධිමත් තොරතුරු නොමැති වුවත් 1000 කට ආසන්න ශ්‍රී ලාංකික සෙබළුන් ප්‍රමාණයක් රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධව ඇතැයි අනාවරණය වෙනවා.

ඒ අතරින් සොල්දාදුවන් 220ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත නැවත යෑමට අවශ්‍ය බව පවසා ඔවුන්ගේ තොරතුරු එම මන්ත්‍රීවරුන් වෙත ලබාදී ඇති බවත් එම මන්ත්‍රීවරුන් සඳහන් කරනවා.

එමෙන්ම රෝහල්ගත යුධ සෙබළුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳවත්, අතුරුදහන් වූ හෝ මියගිය හෝ සොල්දාදුවන්ට අදාළ වන්දි මුදල් ඔවුන්ගේ ඥාතීන් වෙත ගෙවීම පිළිබඳවත්, ගිවිසුම් කඩකිරීම යටතේ තැරැව්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති සොල්දාදුවන් පිළිබඳවත් සාධාරණව මිත්‍රපාක්ෂික රටක් ලෙස රුසියානු රජයේ අවධානය යොමු කරවන ලෙස එම මන්ත්‍රීවරු පිරිස තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් රුසියානු ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කර තිබෙන අතර රුසියානු රජයේ අවධානය මේ පිළිබඳව ලබාගෙන රාජතාන්ත්‍රික ආකාරයට එම සෙබලුන් යුදභූමියෙන් ඉවත් කරගැනීමටත්, නැවත ලංකාවට ගෙන ඒමටත් අදාල කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම පිළිබඳව තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමු කළ බවයි පැවසෙන්නේ.

තවද එම මන්ත්‍රීවරුන් පෙරේදා(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමටද කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles