දිසාපති, ඕඅයිසී ඇතුළු 5ක් අධිකරණයේදී මාධ්‍යවේදියාට වැඳ සමාව ගනී: මානව හිමිකම් ගැන වටිනා කතාවක්!

රත්නපුර මහ දිසාපති කාර්යාලයට හිස් වැසුමක් පැළැඳ ඇතුළු වූයේ යැ කියමින් මාධ්‍යවේදියෙකු වන සරත් විමලරත්නට බැණ වැදී අඩන්තේට්ටම් කර පොලිසියේ රඳවා තැබීම සම්බන්ධයෙන් ඔහු පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවකදී එවක රත්නපුර දිසාපතිවරිය, පොලිස් ස්ථානාධිපති සහ තවත් තිදෙනෙක් අධිකරණයේදී ඔහුට වැඳ සමාව ගත් පුවතක් වාර්තා වෙනවා.

මෙසේ වැඳ සමාව ගෙන නඩුකරය සමථයකට පත් කර ගත්තේ, එවක රත්නපුර මහ දිසාපති මාලනී ලොකුපෝතාගම, එවක රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චි අනුරාධ බණ්ඩාර, ඇතුළු පිරිසක්.

මෙම නඩුකරයට අදාළ නිමිත්ත වන්නේ, 2019 වසරේ මැයි 29 වැනිදා පෙත්සම්කාර මාධ්‍යවේදියා රත්නපුර මහදිසාපති කාර්යාලයේ දැනුම්දීමකට අනුව එහි ගිය අවස්ථාවේ සිදුවූ සිදුවීමක් බවයි අදාළ පෙත්සමේ දැක්වෙන්නේ. ඔහු දිසාපති කාර්යාලයට හිස් වැසුමක් පැළැඳ ඇතුළුවීම නිසා එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියා සහ යුද හමුදා නිලධාරියා ඊට විරෝධය පළ කර තිබෙනවා. හිස්වැසුම ඉවත් කර එහි ඇතුළු වූ මාධ්‍යවේදියා පසුව එය නැවත පැළඳගෙන ඇති අතර ඒ හේතුවෙන් හමුදා නිලධාරියා ඔහුට පහර දුන් බව පෙත්සමේ සඳහන්. එසේම දිසාපතිවරිය සහ ආරච්චි යන අයද මාධ්‍යවේදියාට අසභ්‍ය ලෙස බැණ වැදුණු බව එහි තවදුරටත් දැක්වෙනවා. අනතුරුව පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසියට ගෙන ගොස් සවස්වරුව දක්වා ඔහු එහි රඳවාගෙන සිට මුදාහැර තිබෙනවා.

මෙම ක්‍රියාවෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට මාධ්‍යවේදී සරත් විමලරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය මාධ්‍යවේදියාගෙන් සමාව ගෙන නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැත්ත පළ කළ අතර ඔහුට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවද ඉවත් කර ගැනීමට එකඟ වීම හේතුවෙන් නඩුව සමථයකට පත් වුණා.

තම නිලබලය නිසාවෙන් මහජනයාගේ අයිතිවාසිකම් ගැන මායිම් නොකර කටයුතු කරන නිලධාරීන්ට ඒ ගැන දෙවරක් සිතා බැලීමට අවස්ථාවක් මේ නඩුකරය ඇසුරෙන් ලැබෙන බව කිව යුතු වෙනවා. එසේ ම තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා ජනතාව කටයුතු කිරීමේ වැදගත්කමද මෙයින් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles