ඊශ්‍රායලයේ බොරු ප්‍රචාර පිළිගන්න එපා : හමාස් සටන්කාමීන් කියයි

ඊශ්‍රායලය සිදු කරන අනතුරු ඇඟවීමට සවන් නොදෙන ලෙස හමාස් සංවිධානය ගාසා තීරයේ ජනතාවට දැනුම් දී තිබෙනවා.

ඒ ඊශ්‍රායලය විසින් මිලියන 1.1ක් වූ සිවිල් වැසියන්ට උතුරු ගාසා තීරයෙන් ඉවත්ව පැය 24ක් ඇතුළත දකුණු ගාසා තීරයට පැමිණ පදිංචි විය යුතු බවට ඊයේ (13) ප්‍රකාශ කිරීමත් සමඟයි.

ඊශ‍්‍රායල හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ බව සඳහන් කර තිබෙනවා.

මෙය ව්‍යාජ ප්‍රචාරණයක් බවටත් එය නොසලකා හරින ලෙසටත් හමාස් සටන්කාමීන් ජනතාවගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තරය දීර්ඝ කාලයක සිට හමාස් සටන්කාමීන්ට චෝදනා එල්ල කරන්නේ, ඔවුන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් සටන්කරුවන්ගේ ආරක්ෂාව සඳහා අහිංසක ජනතාව අනතුරට හෙළමින් තිබෙන බවටයි.

නමුත් ඊශ්‍රායල නියෝගයට අනුව ගාසා තීරයේ වැසියන් අද උදෑසන බඩු භාණ්ඩ අසුරා ගනිමින් දකුණට යාමට උත්සාහ කරන ආකාරය දැක්වෙන ඡායාරූප විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා.

මේ අතර සිවිල් වැසියන් තම හතුරන් නොවන බව පවසන ඊශ්‍රායල හමුදාව අවධාරණය කර සිටින්නේ, උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක් ජනතාවට ඉදිරි පැය 24 තුළ වහාම ඉවත්වන ලෙස සිදුකළ දැනුම් දීම ගාසා තීරයේ ඊශ්‍රායල මානූෂීය පියවරයන්හි කොටසක් බවයි.

ගාසා තීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේදී සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය බවත් ඊශ්‍රායලය ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම් පිළිබඳ නීතිවලට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් ඊශ්‍රායල ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සමස්ත ගාසා තීරයේ ජනගහනයෙන් හරි අඩක් පමණ වන මිලියන 1.1ක ජනතාවකට මෙලෙස පැය 24ක් තුළ උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර විචාරකයින් පවසන්නේ, පැය 24ක් තුළ මිලියන 1.1ක ජනතාවක් උතුරින් දකුණට සංක්‍රමණය වීම ඉතා අසීරු කටයුත්තක් බවයි.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු පසුගිය සෙනසුරාදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර දියත් කරමින් සිටිනවා.

ඔක්තෝබර් 7 වැනි දා හාමාස් සංවිධානය, ඊශ්‍රායලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයත් සමගින් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති යුධ ගැටුම් ආරම්භ වීමත් සමඟ ඊශ්‍රායල වැසියන් 1,300ක් පමණ මියගොස් ඇති අතර තවත් 150 දෙනෙකු පමණ හමාස් සටන්කාමීන්ගේ පැහැර ගැනීමට ලක් වී තිබෙනවා..

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්පසු ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් මිය ගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 1400කට අධිකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles