රනිල් වික්‍රමසිංහ ලබන ජනපතිවරණයෙන් ඡන්ද ලක්ෂ සීයක් ගෙන ජනපති වන බව තමා ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොව පැහැදිලි දැක්මකින් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ජනාධිපති රනිල් හුදෙක් දේශපාලකයකුට එහා ගිය ආර්ථික විශේෂඥයකු නිසා ලබන අප්‍රේල් වන විට රට තිබිය යුතු තැන ගැන පැහැදිලි දැක්මක් සහිතව කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.
රනිල් නැවත ජනාධිපති පුටුවේ වාඩි වන්නේ මෙතෙක් ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු නොලැබූ තරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන බවයි වජිර පෙන්වා දෙන්නේ.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
දැනට තිබෙන විපක්ෂය ද එජාපයේ බවත් පවසන වජිර අබේවර්ධන අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයක් තිබිය හැකි බවත් නමුත් එය මැතිවරණයකදී ඇත්ත විරුද්ධ පක්ෂය ජනතාව විසින් තෝරා ගනු ඇති බවයි පවසන්නේ.
කෙසේ වූව ද අවසාන මොහොතේ සියලු දේශපාලන පක්ෂ එක තැනකට පැමිණෙනු ඇති බව ද අබේවර්ධන සඳහන් කරනවා.