පොළොන්නරුව අභයභූමියට අයත් පරාක්‍රම සමුද්‍රයේ තෝපාවැව ප්‍රදේශයේ තෙප්පන් ඇලට සුදු අරලිය හෝටලයේ අපද්‍රව්‍ය මුදා හැරීමක් සම්බන්ධ නඩුවක දී එම හෝටලයේ කළමනාකරුට අධිකරණය මගින් දඩ නියම කෙරුණා. පොළාන්නරුව වනජීවි කාර්යාලය විසින් 3 වැනිදා අත්අඩංගුවට ගත් මෙම කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 75000ක දඩ නියම කර තිබෙනවා.
එම හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය, මාළු ටැංකිවල අපජලය ජලාශයට බැහැර කිරීම ඇතුළු චෝදනා පහක් සුදු අරලිය හෝටලයට විරුද්ධව ඉදිරිපත් කර තිබුණා. නැවත මෙවැන්නක් සිදු නොකරන බවට කළමනාකාරවරයා විසින් අධිකරණය ඉදිරියේ පොරොන්දු වුණු අතර වනජීවී කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ, මෙම වැව සංචාරක ආකර්ෂණය දිනාගත් විශේෂ වැවක් වනවා සේම පොළොන්නරුව ජලමණ්ඩලය පිහිටා ඇත්තේ මෙයට මීටර් 500ක් ආසන්නයේ බවයි.