විදුලි බිඳවැටීම නිසා ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍රත් අබලන් වෙලා

පසුගිය සෙනසුරාදා සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර 3ක් සහ DSA යන්ත්‍රයක බිඳවැටීමක් සිදුව තිබෙනවා.

නව බාහිර රෝගී අංශයේ, විශේෂ ස්නායු ප්‍රතිකාර ඒකකයේ සහ ජතික අපස්මාර ඒකකයේ තිබෙන MRI යන්ත්‍ර 3 සහ අපස්මාර ඒකකයේම තිබෙන DSA යන්ත්‍රය මෙලෙස බිඳ වැටුණ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම පවසන්නේ.

අද දවස වන විට මෙම යන්ත්‍රවලින් DSA යන්ත්‍රය සහ නව බාහිර රෝගී අංශයේ තිබෙන MRI යන්ත්‍රය නැවත ක්‍රියාකාරී තත්වයට පත්කර ඇතත් මේ වනතුරුත් අනෙකුත් බිඳවැටුණු MRI යන්ත්‍ර නඩත්තුව සිදුකර නොමැති බවයි ඔහු ලේකම්වරයා කියා සිටියේ. එම නඩත්තුව සදහා අවශ්‍ය අමතර කොටස් ලංකාවට ගෙන්වා ගැනීම සදහා තවත් සතියකට වඩා කාලයක් ගතවන බව අදාල සේවා සපයන ආයතන දැනුම් දී තිබෙනවා.

මේවනවිට නිලධාරීන් රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු අනෙකුත් යන්ත්‍ර භාවිතා කරමින් දැඩි අපහසුතා මධ්‍යයේ සිදුකරමින් සිටියත් ඉතා ඉක්මනින් මෙම යන්ත්‍ර නැවත යථා තත්වයට පත්කර ගැනීම අත්‍යාවශ්‍ය බව චානක ධර්මවික්‍රම පවසනවා.

මෙම නඩත්තු කටයුතුවලට මුදල් ගෙවීමට සිදුවුවහොත් එය ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතර වැය බරක් මෙන්ම අපහසුතාවයට පත්කරන කාරණාවක් වන බවද විදුලි බල මණ්ඩලය තමන් අලාභ ලබනවායැයි පවසමින් අවස්ථා කීපයකදීම විදුලි බිල වැඩිකළ අතර මෙවැනි විදුලි බිඳවැටීම් වලදී රටේ ජනතාවට රාජ්‍ය ආයතන වලට සිදුවන පාඩුවට වන්දි ගෙවීමක් සිදු කළ යුතු බවද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකබද්ධ බල මණ්ඩලය අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles