2019 වසරේ දී මෙරට කිතුනු දේවස්ථාන ගණනාවක් ඉලක්ක කර එල්ල කෙරුණු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහමොළකරු තමන් දන්නේ යැ යි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. එසේ ම එය කතෝලික සභාව ඇතුළු සමාජයේ විවිධ කොටස් විසින් විවේචනයට බඳුන් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, මෛත්‍රී රහස් පොලිසියට සහ අධිකරණයට කැඳවනු ලැබුවේ මෙම ප්‍රකාශය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා යි.
මෛත්‍රී විසින් රහස් පොලිසියට ලබා දුන් ප්‍රකාශයේදී මෙම බෝම්බ ප්‍රහාර පිටුපස ඉන්දියාව සිටින බවට වන තොරතුරු තමන්ට ලැබී ඇතැයි කියා තිබෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා.
(දිනපතා මව්බිම පුවත්පතේ පළවූ කාටුනයකි.)
යහපාලන සමයේ මෙරට ඉන්දියාව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ප්‍රධාන ව්‍යාපෘතිවලට සැලකිල්ලක් නොදැක්වීම නිසා මෙම ප්‍රහාරය සැලසුම් කිරීමට ක්‍රියා කළ බව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු තමන් හා ප්‍රකාශ කළ බවද ඔහු කියා ඇතැයි සඳහන්.
පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද දිනයේ මෙරට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන, සිංගප්පූරුව වෙත ගොස් තිබුණා. පසුව ඔහු පවසනු ලැබුවේ තමන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා එහි ගිය බවයි.
කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව එවක මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ඍජුව පවසා සිටියේ මෙකී ප්‍රහාරය නිසැකවම අයිඑස්අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයක් බව සැක කරන බවයි.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා විසින් කලාපීය ප්‍රබලයෙක් සහ ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා අරභයා කරන ලද මෙම ප්‍රකාශය බරපතළ බවයි දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ.