වතු වැටුප් අර්බුදය:අධිකරණ නියෝගයක්

වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප වැඩිකිරිමට නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර තිබෙන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබුවා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර එහි වග උත්තරකරුවන් ලෙස කම්කරු ඇමති මනුෂ නානායක්කාර, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නම් 52ක් සඳහන් කර තිබෙනවා.

පෙත්සම්කාර වැවිලි සමාගම් ප්‍රකාශ කරන්නේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප වශයෙන් 1,350ක් සහ රුපියල් 300ක් දීමනාවක් මෙන්ම තවත් රුපියල් 80ක දීමනාවක් අවම වැටුප වශයෙන් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම අතනෝමතික ආකාරයෙන් ගත් තීරණයක් බැවින් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වැවිලි සමාගම් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles