වසර 14කට පෙර කළ වරදකට හිටපු ඇමති ෆවුසිට දඩ

හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (27) නියෝග කර තිබෙනවා.

ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුව එම චෝදනාවට හිටපු අමාත්‍යවරයා වරදකරු කරමින් අධිකරණය එම නියෝගය ලබා දී තිබෙනවා.

එමෙන්ම විත්තිකරුට ලක්ෂ 4ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කර ඇතැයි සඳහන්.

2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී ඒ. එච්. එම් ෆවුසි හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් වරද පිළිගනු ලැබුවා.

එහිදී විනිසුරුවරයා පෙන්නා දුන්නේ වසර 62ක දේශපාලන පලපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි වුවත් ඔහු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම හා මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන බවයි.

ඒ. එච්. එම් ෆවුසිගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles