එක්ස්ප්‍රස් පර්ල් දත්ත හිතාමතා මකලා: උසාවියේදී හෙළි වෙයි

දකුණු ආසියාවේ දරුණුතම සමුද්‍ර දුෂණය සිදු කරමින් මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් අනතුරුව හිතා මතාම මකාදමා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කර සිටින්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකය මඟින් ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාව හා රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ වෝහාරික පරීක්ෂණය මඟින් මෙම කරුණු අනාවරණය වූ බවයි.

මෙම දත්ත මකා දැමුවේ කවුද? ඊට සම්බන්ධ වූවන් කවුද? සහ එසේ කර ඇත්තේ කාගේ වුවමනාවටද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බැවින් ඒ් සම්බන්ධයෙන් සුදුසුකම්ලත් ජාත්‍යන්තර හෝ දේශීය ආයතනයක් හරහා විමර්ශනය කරන ලෙසට රහස් පොලීසියට නියෝගයක් නිකුත් කරන ලෙස සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණයෙන් ඉල්ලා‌ සිටියා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සහ හාබර්මාස්ටර්වරයා සන්තකයේ තිබූ වී.ටී.එම්.එස් යන්ත්‍රය හෙවත් වෙසෙල් මැනේජ්මන්ට් සිස්ටම් දත්ත පද්ධතිය සහ වී.ඩී.ආර් දත්ත පද්ධතිය මෙසේ මකා දමා තිබෙනවා.

එහිදී නෞකාව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට එවන ලද ඊමේල් පණිවිඩ රාශියක් අතුරුදන් වී ඇති බවයි සඳහන් වන්නේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතායතනය වන සී.කොන්සන්ස් සමාගමේ සැකකාර නියෝජිතයන් හත් දෙනෙකුට එරෙහිව රහස් පොලීසිය ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles