විලාසිතාමය දුෂ්ටත්වය – රෙක්ස් ඔබට ස්තූතියි!

සිනමාවේ දුෂ්ටයන් නැති නම් වීරයන්ට පැවැත්මක් ඇත්තේ නැත. රසිකයන් තිර තරු ඔජ වඩන්නේ දුෂ්ටයාගේ දුෂ්ටකම්වලට සාපේක්ෂවයි. දුෂ්ටයන් කෘෘර වෙන තරමට රසිකයන්ට එපා වෙයි, ඒ තරමටම වීරයන් ඕනෑ වෙයි. සිංහල සිනමාවට එවන් මං සලකුණු තැබූ දුෂ්ටයන් ගණනාවක් සිටි බව කිව යුතු ය. ඩොමි ජයවර්ධන, පියදාස විජේකෝන්, පියදාස රණසිංහ, රොබින් ප්‍රනාන්දු, මර්වින් ජයතුංග, සොමි රත්නායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස් ආදී නම් වැලක රෙක්ස් කොඩිප්පිලි නමද ඉහළින්ම තිබේ.

සිනමාවේ රෙක්ස්ගේ දුෂ්ටත්වය පැහැයෙන් ඩොමීගේ දුෂ්ටත්වයට සමාන බව කිව හැකි ය. යම් විලාසිතාමය ගතියක් ඔහුගේ සමස්තය පුරා විසිර තිබුණි. මුවන්පැලැස්සේ කදිරා ඇතුළෙන් පවා යම් විටෙක ඒ ස්වභාවය මතු වූයේ ය.

රෙක්ස් උපන්නේ 1938 වසරේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ය. පාසල් අධ්‍යාපනය නිසි පරිදි නිමා කළ ඔහු ගීත ගායනයට දක්ෂයෙකු බැවින් සංගීතයට ඇදී ගියේ ය. එවකට වසර 18ක් තරම් යෞවන වියේ ගුවන් විදුලියේ ආධුනික පැය නම් වැඩසටහනේ දෙවැනි තැන දිනාගන්නට තරම් ඒ ගායන හැකියාව වර්ණවත් වූයේය. එවක තිබු ප්‍රබලම විනෝදාස්වාදන මාර්ගය වූ ගුවන් විදුලියෙන් එවන් හපන්කමක් පෑම හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනුණා වැනි ය. මෙම තරඟයේ පළමු තැන ගත්තේ නන්දා මාලිනියයි.

යුද හමුදා පොලීසියේද සේවය කර ඉන් ඉවත්ව සාලාකාවට බැඳුණු රෙක්ස්ගේ පළමු සිනමාපටය 1971 තිරගත විණි. “කතුරු මුවත්” වෙතින් ඔහුගේ සිනමාව මුවහත් වීමට අඩිතාලම වැටුණේ ය.

ඒ අතර ඔහු ප්‍රධාන චරිත රඟන්නන් වෙනුවෙන් ස්ටන්ට් නළුවෙකු ලෙසින් භාරදූර වැඩ කළේ ය. අඬු පඬු කඩා ගත්තේ ය. එහෙත් නොනැවතුණේ ය.

දිගින් දිගට සිනමාපට බොහෝමයක් ඔහු වෙත ලැබුණු අතර එම ලැයිස්තුව බොහෝ දිගැති එකකි.

ඉහත ආත්මය, සුනේත්‍රා, හොඳයි නරකයි, දිනුම් කණුව, සුරේඛා, ඔන්න බබෝ බිල්ලෝ එනවා, දුප්පතාගේ හිතවතා, කල්‍යාණි ගංගා, සිහසුන, මුවන්පැලැස්ස, රක්තා, සාගරිකා, බයිසිකලේ, අහස් මාලිගා, කොටි වලිගය, ලොකුම හිනාව, දුලීකා, රොඩී ගම, අපරාධය සහ දඬුවම, දමයන්ති, ලස්සන කෙල්ල, චාන්දනී, සූරයා සූරයාමයි, හිත හොඳ මිනිහෙක්, මගේ නංගි ශ්‍යාමා, ලස්සන දවසක්, කවුද රජා, ආදරෙයි මම ආදරෙයි, දියමන්ති, නිල්ල සොයා, උන්නත් දාහයි මලත් දාහයි, හුලවාලි, රන් තිලකා, යකඩයා, මරුවා සමඟ වාසේ, හිතුවොත් හිතුවාමයි, චණ්ඩි ශ්‍යාමා, මිනිසුන් අතර මිනිසෙක්, චංචල රේඛා, හිතත් හොඳයි වැඩත් හොඳයි, පෙරළිකාරයෝ, හිත හොඳ චණ්ඩියා, මමයි රජා, ක්‍රිස්තු චරිතය, කදිරා, නොමියෙන මිනිසුන්, දොරකඩ මාරාව, වන්ෂොට්, අංජලිකා, රන්ජා, මහරජ අජාසත්, වැඩ බැරි ටාසන්, රෝස දිගන්තේ, අලි සුරතල් ආදී වශයෙන් විශාල සිනමාපට ගණනක සිය රංගන ප්‍රභාව පළ කළේ ය. ඒවා ඔහු ලොකු තෝරා බේරා ගැනීමකට ගිය බවක් නොපෙනේ. රංග ශිල්පියාගේ කාර්ය රංගනය බව අදහා එයට අනුගතව රංගනය ලබා දුන් බවකි ඔහුගේ සිනමාපට ලැයිස්තුව බැලූ කළ පෙනී යන්නේ. ඔහු රඟපෑ සිනමාපට කිහිපයක් ඉදිරියේද තිරගත වීමට නියමිත අතර සියලු සිනමාපට 150 ඉක්මවන විශාල ප්‍රමාණක් නිසාවෙන් සිංහල සිනමාවේ ඔහුගේ දායකත්වයේ විශාලත්වය සිතාගත හැකි ය.

“සිහසුන” සහ “බයිසිකලේ” සිනමාපට දෙක ඔහු නිෂ්පාදනය කළ ඒවා ය.

එපමණක් නොව, පුංචි තිරයට ද පැමිණි රෙක්ස් අනලස්ව එහිද බර අඩි තබමින් ඇවිද ගියේ ය.

ගාමිණී, විජය, සනත්, ජීවන්, රංජන් ආදී තිර වීරයන්ට නිතර දුෂ්ටකම් කරමින් සිනමා පොදු ජන මනස මත සලකුණු තැබුවේ ය.

“කොටි වලිගය” සිනමාපටය වෙනුවෙන් සරසවිය සම්මාන දිනාගත්තේ ය.

සිංහල සිනමාවේ වීරයන්ගේ පැවැත්ම වෙනුවෙන් – සිංහල සිනමාවේ පැවැත්ම වෙනුවෙන් බොහෝ දේවල් කළ අය අතර දුෂ්ටයන්ට සෑහෙන තරම් තැනක් හිමි විය යුතු ය. වීරයන්ට චියර් එක ලැබෙන්නට දුෂ්ටයන් ගුටි කෑ යුතු ම ය. එදා මෙදා තුර සිංහල සිනමාවේ නිමැවූ සිනමාපට සමස්තය 2000කට අඩු ය. එයිනිදු 150ක රඟපෑමෙන් රෙක්ස් එකතු කළ දේ බොහෝ ය.

එබැවින්, රෙක්ස් අපි ඔබට ස්තුතියි කියමු!

  • සඳුන් ප්‍රියංකර විතානගේ

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles