Channel 4 හෙළිදරව්ව : රාමඤ්ඤ නිකායේ අනුනායක හිමිගෙන් ප්‍රකාශයක්!

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සහ පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාවට දෙන කුඩම්මාගේ සැලකිලි පිළිබඳව බටහිර රටවල් දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් අවශ්‍ය බවයි.

මෙම වෙනස්කොට සැලකීම විවිධාකාරයෙන් සිදුවන බව සිරිවිමල හිමියන් පවසනවා. චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සංවිධානයක් බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි අස්වාභාවික ඇති කරන්නේ මන්ද යන්නත් උන්වහන්සේ ප්‍රශ්න කරනවා. පසුගිය යුද සමයේදී ද ව්‍යාජ වීඩියෝ වැඩසටහනක් නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑමක් ඇති කිරීමේ පැහැදිලි ක්‍රියාවලියක ඔවුන් නිරත වූ බව ද ඔවුන්ට ඉටු කර ගැනීමට නොහැකි වුණු අරමුණු නැවත ඉටු කරගැනීමට වෑයම් කරන්නේද යන්න සොයා බැලිය යුතු බවයි සිරිවිමල හිමියන් පවසන්නේ.

මුළු ලෝකයම දන්නා පරිදි පාස්කු ප්‍රහාරය සමස්ත ලෝක ප්‍රජාවටම තර්ජනයක් වන අන්තවාදී සහ මූලධර්මවාදී ක්‍රියාවක් බවත් ඒ නිසාම එම සිදුවීම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල් තම බුද්ධි අංශ යොමුකර පරීක්ෂණ රැසක් සිදු කළ බවත් පවසන ඒ හිමියන් මෙවැනි පසුබිමක චැනල් 4 වැනි මාධ්‍ය ආයතනයක් මෙවැනි හෙළිදරව්වක් සිදු කිරීම සැකසහිත බවත් පවසනවා.

“එවැනි මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අති බහුතරයක් සිංහල බෞද්ධ ඡන්දවලින් පාලකයකු පත්කර ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සැලසුම් සකස් කළ බව පෙන්වා දීම අතිශය හාස්‍යජනකයි. මේ අන්තවාදී කල්ලි ජීවිත පරිත්‍යාග කර රට පාලනය කිරීමට පරම හතුරෙකු ලෙස පෙනෙන සිංහල බෞද්ධයෙකු බලයට ගෙන එන්නේ දැයි තාර්කිකව විමසා බැලීම බුද්ධිමත් සැමගේ වගකීමක්. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ නඩු ගණනාවක් විභාග කර තීන්දු කර ඇති අතර තවත් නඩු විභාග වෙමින් පවතිනවා. මේ කිසිදු දේකින් සත්‍ය හෙළිවී නැතැයි කියමින් සෑහීමකට පත් නොවන ඇතැමුන් එම ඩයස්පෝරා කුමන්ත්‍රණකරුවන්ට විශාල රුකුලක් වී තිබෙනවා” යැයිද අනුනායක හිමියන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles