විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සිය පුත්‍රයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමත්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවලට සම්බන්ධ කර ගැනීමත් අපත් ඇතුළුව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා.
එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් සටහන් කරමින් මෙම චෝදනාවලට පිළිතුරු වශයෙන් කියා තිබුණේ, එම සැසිවාරයේදි තම කාර්යභාරය ඉතා සංකීර්ණ බැවින් සහයකයන් සහ විශේෂඥයන් අවශ්‍ය බවයි. සිය පුත්‍රයාගේ විශේෂඥ දැනුම මේ සඳහා තමාට මහත් සහය වූ බවත් ඔහු පවසා තිබුණා.
මේ ආශ්‍රයෙන් පැන නගින ගැටලු කිහිපයක් තිබෙනවා.
- විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පුත්‍රයා රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් විශේෂඥභාවයක් ලබා තිබේද?
- එසේ නම් ඒ සුදුසුකම් මොනවාද?
- ඇමැතිවරයා පින් තකා මෙන් පුත්‍රයාගේ සේවය ලබා ගන්නේ, විදේශ කටයුතු සම්බන්ධව විශේෂඥ දැනුම ඇති අය විදේශ අමාත්‍යංශයට එතරම් හිඟ ද?
- එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීම වැනි ලෝක මට්ටමේ වැදගත් කටයුත්තක් සඳහා විශේෂඥ දැනුම ලබා ගැනීමට වියදමක් දැරීමට වාර්ෂිකව සාමාන්‍යයෙන් රුපියල් මිලියන ගණනක මුදලක් වෙන් කෙරෙන අමාත්‍යංශයකට ඇති නොහැකියාව කුමක් ද?
- දැනට විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවයේ යෙදෙන කිසිවෙක් උක්ත සමුළුව සඳහා ස්වේච්ඡා සේවය ලබා ගත් අමාත්‍ය පුත්‍රයාට වඩා සුදුසුකම් සපුරා නැති ද?
සඳුන් ප්‍රියංකර විතානගේ