ලැව් ගිනි පැතිරේ : දැඩි හානි සිදුවේ

බදුල්ල, පුත්තලම, වවුනියාව, හම්බන්තොට දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ රැසක ලැව්ගිනි නිවා දැමීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) බලධාරීන් වෙහෙසෙනවා. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ද ප්‍රමාණවත් නොවෙන බවයි වාර්තා වන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් පැතිර යන ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගත් අතර බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ඒ සඳහා උපකාරී වුණා. මෙම ප්‍රදේශය සංචාරකයන් බහුලව සිටින ප්‍රදේශයක්.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර පැවසුවේ ගම්වැසියන් ළඳු කැළෑ ගිනි තබන බවයි. වියළි කාලගුණයෙන් ප්‍රයෝජන ගන්නා දඩයම්කරුවන් වනාන්තර ගිනි තබන බවත් කඳවුරුවල සහ නිවාඩු නිකේතනකරුවන් ගින්දර සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් නොවෙන නිසා මේ තත්වය බැරූරුම්ව තිබෙන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසනවා.

ගිනි තීරයක් පවත්වාගෙන යන ලෙස වතු කළමනාකාරීත්වයන් වෙත උපදෙස් නිකුත් කර තිබෙනවා. කඳුකර ප්‍රදේශවල ගිනි පැතිරුණු පසු ගිනි නිවන රථ මගින් ඒවා නිවා දැමීමේ හැකියාවක් නැති බව ඔහු සඳහන් කරනවා. හමුදා නිලධාරීන් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් ගස්වල අතු යොදාගෙන ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළත් එය අසීරු බවයි පැවසෙන්නේ.

පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව දිස්ත්‍රික්කයේ ලැව් ගිනි හේතුවෙන් පොල් ඉඩම් අක්කර 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී කජු වගා කරන ප්‍රදේශවලට සහ කොහු කර්මාන්තයට බලපෑම් එල්ල වී තිබෙනවා.

මදුරාගම ප්‍රදේශයේ කොහු අපනයන කම්හලක් අසල කැලෑ ප්‍රදේශයකින් ගිනි පුපුරු වැදීමෙන් එම කොහු තොගය ගිනිගෙන විනාශ වූ අතර ගිනි නිවන රථ එම ප්‍රදේශයට කඩිනමින් පැමිණියද කර්මාන්ත ශාලාවද ගිනි ගෙන විනාශ වුණා.

වව්නියාවේද ලැව්ගිනි පැතිර යාම නිසා වනාන්තර විනාශ වී ගිය බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරැකීමේ සංවිධානයේ පරිසරවේදී ජයන්ත විජේසිංහ පැවසුවේ පසුගිය සතිය තුළ ඇල්ල, හල්දුමුල්ල, වැල්ලවාය, බලංගොඩ ප්‍රදේශවල ලැව්ගිනි රැසක් සිදුව ඇති බවයි.

මෙය වසර ගණනාවකට පසු උණුසුම්ම මාසය වන අතර ලැව් ගිනි හේතුවෙන් අක්කර 10,000කට ආසන්න වනාන්තර ප්‍රමාණයක් අහිමි වීම රජය විසින් බැරෑරුම් ලෙස සැලකිය යුතු බව ඔහු කියා සිටියා. ලැව් ගිනි ඇති වන ස්ථාන සිතියම්ගත කිරීම, ගිනි පටි කැපීම, ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීම, ගම් මට්ටමෙන් කමිටු පිහිටුවීම ප්‍රමාදයකින් තොරව ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් බව ඔහු පෙන්වා දෙනවා.

රටේ ඇතිවන සියලු ආකාරයේ ලැව්ගිනි ඉබේ හට ගන්නා ඒවා නොවෙන බවත්, මෙලෙස පැතිරෙන සියලු ගිනි මිනිසුන් නිසා හටගත් ඒවා බවත් බලධාරීන් ප්‍රකාශ කරනවා. සති කිහිපයක සිට පවතින දැඩි වියළි කාලගුණය මේ ගිනිගැනීම් පැතිර යාමට බලවත්ම හේතුව ලෙස සැලකෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles