බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක විසින් අද සිව් දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා. ඒ මෙයට වසර 21කට පෙර ඉඩම් ආරවුලක් හේතු කරගෙන තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකු ආබාධිත තත්වයට පත් කිරීමේ චෝදනාවකට තීන්දුව ලබා දෙමින්.
එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කලේ සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර ඇති බවයි. නඩුවට පෙනී නොසිට කෙම්පාත නෙත්තිගේ අජිත් කුමාර අබේසේකර යන අය සැඟවී ගොස් තිබෙන බැවින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දෙන ලෙස පොලිසියට නියෝග කරනු ලැබුවා.
අමුහොඩ ලකංගංගොඩවත්ත පදිංචි හික්කඩුවගේ නිහාල් රංජිත් හොඩැල්ල පාර මුල්ලේරියාව පදිංචි දිසානායක අප්පුහාමුලාගේ සුගත් කුමාර දිසානායක මුල්ලේරියාව වෙන්නවත්ත පදිංචි කෙම්පාත නෙත්තිගේ අජිත් කුමාර අබේසේකර හා අමුගොඩ කංගංගොඩවත්තල පදිංචි කදිරප්පුලි ගේවගේ ශාන්ත යන අය පෝරකයට නියම කරනු ලැබුවේ 2002 වසරේ ගාමිණී නිහාල් නම් අය ඝාතනය කර කලුපහේ ගාමිණී නමැත්තාගේ අතක් කපා වෙන් කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින්.