මහ මැතිවරණය: මෝදි ඉදිරියෙන්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දින 44 ක් , අදියර 7 ක් යටතේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වූ අතර ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් බැවින් ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනමින් සිදුවන බව සඳහන්.

මෙවර මැතිවරණයට ඡන්ද දායකයින් බිලියනක් පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබුණා.

අද (4) උදෑසන 8 ට ඡන්ද ගණන් කිරිමේ කටුයුතු ආරම්භ කළ අතර, පළමුවෙන් තැපැල් ඡන්ද ගණනය කිරීම සිදු කෙරුණා.

අනෙක් ඡන්ද ගණන් කිරීම ආරම්භ වූයේ පෙරවරු 8.30 ට පමණය.

ලොක් සභාවේ ආසන 543 න් ආසන 272ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දිනාගන්නා පක්ෂය මැතිවරණයේ ජයග්‍රාහක පක්ෂය බවට පත් වන අතර මෙතෙක් නිකුත් කර ඇතැයි පැවසෙන නිල නොවන ප්‍රතිඵල අනුව නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය ආසන 209ක් සහ රාහුල් ගාන්ධිගේ සන්ධානය 144ක් හිමිකර ගෙන තිබෙනවා.

දේශපාලන විචාරකයින් පවසන්නේ, වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තෙවැනි ධුර කාලය සඳහා මෙම මැතිවරණය ජය ගනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය ආසන 400 ක් දිනා ගැනිම වුවත් ඒ සඳහා දකුණු ඉන්දීය ප්‍රාන්තයේ ඡන්ද දිනා ගැනීම කළ යුතුයි.

නමුත් දකුණු ඉන්දීය ප්‍රාන්ත විපක්ෂයේ බලකොටු ලෙස සැලකෙනවා.

මේ වනවිට දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත බොහොමයක බලය තහවුරු කර ගැනීමට ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles