නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂ මාරු කිරීම හේතුවෙන් මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීම නිසා ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීම පාදක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයෙන් ඉවත් වූ විකල්ප කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට පමණ එරෙහිව එවැනි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සලකා බලමින් සිටින බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසා ඇත්තේ එම තීන්දුව ගැන බැරෑරුම්ව සලකා බලන බවත් සිය නායකයන් සමග මේ සතියේ ඒ ගැන සාකච්ඡා කරන බවත් ය.
කෙසේ වෙතත්, පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී මන්ත්‍රී ආසන දිනාගත් පක්ෂවලට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නොහැකි වුවත් පොදුජන පෙරමුණට ඍජුව අයත් පිරිස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව ඔවුන් සලකා බලන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.