කොළඹ දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින ජන කණ්ඩායම්වල ජනතාව සමඟ සම්මුඛ සාකච්ඡා ගණනාවකින් පසු ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ලේඛනයක් එළි දක්වා තිබෙනවා.
එයින් කියා සිටින්නේ ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින කිරිදෙන මව්වරුන් සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණය රජය විසින් සහතික කළ යුතු බවයි.
ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය කෙරෙහි ආර්ථික අර්බුදය දැඩිව බලපා ඇති බව ඔවුන් කියා සිටිනවා. ආදායම් පහත වැටීම, රැකියා අහිමිවීම, උද්ධමනය නිසා ක්‍රය ශක්තිය පහත වැටීම සහ මාතෘ පෝෂණය සම්බන්ධයෙන් රජය අරමුදල් සපයන අරමුදල් අර්බුදයට ගොස් තිබීම මීට හේතු වී ඇති බව වැඩිදුරටත් දැක්වෙනවා.
ඇම්නෙස්ටි වෙත අදහස් දැක්වූ මව්වරුන් සමහර දෙනෙක් පවසා තිබුණේ තමන්ට නිර්දේශිත ආහාර ලබා ගැනීම කෙසේ වෙතත් නිකම් බඩ පුරවා ගැනීමට ආහාර ගන්නා බවකුයි. ඇතැමුන් දෛනික ආහාර වේල් ගණන දෙකකට සීමා කර තිබෙනවා. දිවා ආහාරය බිස්කට් සහ තේ කෝප්පයකට සීමා කර ඇති බවකුයි සමහරු පවසන්නේ. සතිපතා මස් හෝ මාළු අනුභව කළ අය දැන් ඒවා අනුභව කරන්නේ මාසයකට වතාවක් බවයි දැක්වෙන්නේ.
කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතිය (CEDAW) ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය සහ ආහාර සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයකට ශ්‍රී ලංකාව ඇතුළත්ව සිටින බැවින් ඒවා ආරක්ෂා කිරීම රජයේ වගකීම බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩිදුරටත් පවසා සිටිනවා.