1990 දශකයේ නවකතා, කෙටිකතා කියවන්න පටන් ගත්ත මුල් යුගයේ අපේ රටේ එවකට සිටි, අදටත් ඉන්නා ප්‍රවීණ ලේඛකයන්ගේ නිර්මාණ කියවද්දී, ඒවා කොයිතරම් සර්වකාලීන දෘෂ්ටීන්ගෙන් ලියවී තිබුණත් පෞද්ගලිකව මට ඒවායේ යම්කිසි දුරස්ථ බවක් දැණුනා.
ඊට හේතුව ඒවා බොහොමයක් 1970 දශකය හෝ ඊට පෙර යුගය පසුබිම් කරගත් ඒවා වීම. අපි ඉපදුණේ, හැදුණේ වැඩුණේ විවෘත ආර්ථිකයක් සහිත, සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින රටකයි. අපි ජීවත්වුණු තත්කාලීන සමාජය සාහිත්‍යකරුවන්ට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ කොයි කාලයේද කියන ප්‍රශ්නය ඒ වෙන විට ළමාවිය නොඉක්මවා සිටි මගේ සිත තුළ නිරන්තරයෙන් ඇතිවුණා.
මේ අතරතුර පිපාසිතයෙකුට පිරිසිදු නැවුම් දිය පිරි ළිඳක් හමුවුණා වගේ එක්තරා කෙටිකතා සංග්‍රහයක් කියවන්න ලැබුණා. පොතේ නම ‘දිවි නසාගැනීමට පෙර’. කතුවරයා එච්.ඒ. සෙනෙවිරත්න. ඒ කෙටිකතා හැම එකකටම වගේ පසුබිම් වෙලා තිබුණේ real time අපි එදා ජීවත්වුණ සමාජය. ඒ විතරක් නෙවෙයි ඒවා ඉතාමත්ම කලාත්මක හා යථාර්ථවාදී විදිහට ප්‍රතිනිර්මාණය වෙලා තිබුණා. විශේෂයෙන් එහි ආ ‘ලක්ෂාන්ගේ ජීවිතයේ තුන්දොහක්’ වැනි කෙටිකතාවක් පුද්ගලිකව මට තදින්ම දැණුනු එකක්. පසුව කියවන්න ලැබුණු ‘සොහොන් පල්ලාගේ දියණිය’ ත් එවැනිම විශිෂ්ට කෙටිකතා සංග්‍රහයක්. එයින් පස්සේ මම ඔහුගේ නවකතා, කෙටිකතා හොය හොයා කියවන්න පටන් ගත්තා. ඒ හැම එකකින්ම වගේ බලාපොරොත්තු වූ යට කී රසයත් ලැබුණා.
එච්. ඒ. සෙනෙවිරත්න කියන්නෙ දක්ෂ ඡායාරූප ශිල්පියෙක් තමන් අවට පරිසරය විචිත්‍රව හා කලාත්මකව කැමරාවට හසු කරගන්නවා වගේ තමන් ජීවත්වන මේ මොහොතේ සමාජය කලාත්මක snap shot එකකට හසු කරගත් සාහිත්‍යකරුවෙක්. (සිනමාවේ මෙය සිදුකළ ධර්මසේන පතිරාජ වැනි අයෙක් එච්.ඒ. සෙනෙවිරත්නගේ කෙටිකතාවක් සිනමාවට නැගීම පුදුමයට කාරණයක් නෙවෙයි) අදටත් අපේ තරුණ ලේඛක ලේඛිකාවන්ගේ සමහර නිර්මාණ දිහා බලන විට පෙනෙන දෙයක් තමයි තමන් ජීවත්වෙන මේ මොහොත අල්ලා ගැනීමට, එය නිර්මාණයකට හසුකර ගැනීමට ඔවුන් දක්වන ප්‍රමාදී බව. මෑත කාලයේ මතුවූ ඓතිහාසික නවකතා ප්‍රවණතාවය ඇති වන්නටත් මේ තත්ත්වය බලපාන්නට ඇති කියා හිතෙනවා.
අවාසනාවකට මෙරට බොහෝ විශිෂ්ටයන් වගේ එච්. ඒ. සෙනෙවිරත්නත් නිසි ඇගයීමකට ලක්වුණ කෙනෙක් නෙවෙයි. ඔහු එවැනි දේවල් බලාපොරොත්තු වූ කෙනෙකුත් නොවුණු බව තම ‘පරාභවය’ නම් නවකතාවට හිමි වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කරනවා.
අවසන් වරට මට ඔහුගේ කතාවක් හැටියට කියවන්න ලැබුණේ මීට වසර ගණනකට පෙර පුවත්පතක පළ වූ කෙටිකතාවක්. එයත් මේ කාලයේ පුරෝගාමී තරුණ සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ අභිබවා යන මට්ටමේ කෙටිකතාවක් වගේම ඒ වෙන විට වයස අවුරුදු 70 ඉක්මවා සිටි එච්.ඒ. සෙනෙවිරත්න ලකුණ කිසිදා පරණ නොවන එකක් බව සනාථ කරන්නක්. වයෝවෘද්ධ භාවයත් සමග බොහෝ කලාකරුවන් තුළ දකින්නට ලැබෙන නිර්මාණාත්මක දුබලතාව ඔහු වෙතින් කිසිවිටෙක දකින්නට ලැබුණේ නෑ. සැබවින්ම එච්.ඒ. සෙනෙවිරත්න යනු සිංහල සාහිත්‍යයේ සදාකාලික තරුණයෙක්. අභාවයට පත්වුණ මේ අවස්ථාවේ ඔහුගේ අලුත් නිර්මාණයක් නැවත රස විඳින්නට නොලැබීමේ සහ නිර්මාණකරුවා හා නිර්මාණ පිළිබඳව වැඩිපුර කතාබහට ලක්නොවීමේ කණගාටුව හැර සාහිත්‍යකරුවෙකු හැටියට ඔහුගේ නිර්මාණ දිවිය පිළිබඳ කිසිදු ශෝකයක් අපි තුළ ඇති නොවෙන්නටත් හේතුව එයයි.
වොජිත් කරුණානායක