සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අයුතු අවහිරය, පහරදීම, රාජකාරියට බාධා කිරීම සහ පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැහැරගෙන යෑම සහ පළායෑමට සැලැස්වීම යන චෝදනා මතයි.
බදුල්ල කොට්ඨාස රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙකු 22 දා අලුයම දී ඇල්ටො වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂා කර තිබෙනවා. එහි රියදුරු බීමතින් සිටි බව අනාවරණය කරගෙන ඇති අතර ඔහු පොලිසියට රැගෙන යෑමට උත්සාහ දරා තිබෙනවා. එහිදී එහි පැමිණි තවත් මෝටර් රථයක් මග හරස් කර නිලධාරීන්ට බැණ වැදී පහරදී ඇති අතර තමා ඇමැති හරීන්ගේ ලේකම් බව පවසා පොලිස් සැරයන්වරයාටද පහරදී බීමත් රියදුරා මුදාගෙන පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා ජී.ආර්. ඕවිටිගල නම් අයෙක් බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ඔහු අප්‍රේල් 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.