“ආර්ථික යුක්ති” පොරොන්දු කැඩුවා: සෞඛ්‍ය සේවා නැවත සටනට!

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළව “ආර්ථික යුක්තිය” ඉටු නොවීම මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මැයි මස 09 වෙනිදා සිට නැවතත් අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා.

මෙම ආර්ථික යුක්තිය ඉටු නොවීමට අදාළව මීට මාස 4කට පෙරද වෘත්තිය සමිති 72කින් යුත් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹුණු අතර සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුවක් මත එම වැඩවර්ජනය පසුගිය අප්‍රේල් මාසයේදි නවතා දමනු ලැබුවා.

අදාළ එකඟතා නිවැරදි ආකාරයෙන් ඉටු නොවීම හේතුවෙන් යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අද (08) දිනයේ තීරණය කළ බව එම වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

එහිදී ඔවුන් සඳහන් කර සිටියේ මෙම තාක්ෂණික වාර්තාවේ කොටසක් මැයි මස වැටුපට එක් කරන බව පැවසූවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව බරපතල දෝෂ සහිත බවයි. තම සන්ධානය විසින් ආර්ථික යුක්තිය ලබාදිය යුතු යැයි ඉදිරිපත් කළ සියලු පාර්ශව ඒ සඳහා ඇතුළත් කර නොමැති බවටද ඔවුන් චෝදනා කරනවා.

එමෙන්ම සති හතරක් තුළ ආර්ථික යුක්තියේ අනෙක් කොටස සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් සිදු කරන බව පැවසූවද මේ වන තෙක් කිසිදු නිල සාකච්ඡාවකට රජය පාර්ශවයෙන් තමන් කැඳවූයේ නැති අතර වැඩ වර්ජනය නැවැත්වූ දා සිට රජය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීප ව්‍යාප්ත වර්ජන ආරම්භ කිරීම වෙනුවට මෙම 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ් අනුව 09 වෙනිදා උතුරු මැද පළාතේ , 13 වෙනිදා මධ්‍යම පළාතේ , 14 වෙනිදා සබරගමුව පළාතේ, 15 වෙනිදා වයඹ පළාතේ, 16 වෙනිදා දකුණ පළාතේ, 20 වෙනිදා ඌව පළාතේ සහ 21 වෙනිදා බස්නාහිර පළාතේ යනාදි වශයෙන් මෙම වැඩ වර්ජන ක්‍රියාත්මක කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles