ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අවසන් වී තිබේ. ඉන්දීය අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණයට තරඟ වැදුණේ සන්ධානගත වී ය. එහි නම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.
ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන ප්‍රමාණය 543කි. එයින් බහුතරය ලෙස 272ක් දිනාගත යුතු වෙයි.
මෝදිගේ නායකත්වයෙන් යුත් සන්ධානය ආසන 400ක් ලබා ගැනීමට මෙවර අපේක්ෂා කළත් ඔවුන් ලබා ගැනීමට හැකි වූයේ ආසන 293ක් පමණි.
තෙවැනි වරටත් ඉන්දියාවේ නායකත්වය ලබා ගන්නා, නරේන්ද්‍ර මෝදිගේ වයස අවුරුදු 73කි. ඔහු අගමැති වීමට ප්‍රථමයෙන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දුම්රියපලක තේ කඩයක සේවය කළ බව ප්‍රකට කතාවකි.
අතල් බිහාර් වජ්පායි ඉන්දියාවේ අගමැති ධුරය හොබවද්දී ඉන්දීය අගමැති සහ අමාත්‍ය මණ්ඩලයේ වත්කම් ප්‍රකාශය කළ යුතු බවට නීතියක් සම්මත කළේ ය.
ඒ අනුව මෝදි ද සිය වත්කම් ප්‍රකාශයට පත් කර තිබේ. 2024 වන විට ඔහුගේ වත්කම් මෙසේ ය.
චංචල වත්කම් ඉන්දීය රුපියල් කෝටි 3.02 කි. ඉන්දියාවේ රාජ්‍ය බැංකුවේ ඇති ඔහුගේ ස්ථාවර තැන්පතුව ඉන්දීය රුපියල් කෝටි 2.85කි. ග්‍රෑම් 45ක් බර රුපියල් දෙලක්ෂ හැට හත්දහසක් වටිනා රන් මුදු හතරක් ඔහුට අයත් ය. ඔහුට පෞද්ගලික වාහන ඇති බව වත්කම් වාර්තාවේ නැත. ඔහු අගමැති ධුරයට පත් වූ පසු කිසිදු දේපළක් මිලදී ගෙන නැති බව පැවසෙන අතර, 2002 දී මිලදී ගත් ඉඩමකින් හතරෙන් එකක අයිතියක් ඔහුට ඇති බව සඳහන් වෙයි.