ජනපති ඇමරිකාවේ දී හමු වු අය මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ(21) ඇමතුවා.

එහි දී ශ්‍රී ලාංකිකයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව තිරසාර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන බවයි ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී ප්‍රතිඥාවක් ලෙස ලබා දුන්නේ.

ශ්‍රී ලාංකිකයන් සැමට සාමය සහ සෞභාග්‍යය ඇති කරමින් ඒ ගමන ඉදිරියට යන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2030 වන විට විදුලි බලයෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන් සපයා ගැනීමට ද, වනාන්තර ආවරණය 32% ක දක්වා වැඩි කිරීමටද ඉලක්ක කර ගනිමින් කටයුතු කරන බවත් පැවසුවා.

එසේම මෙම සමුළුවේ තේමාව වුයේ ද “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන්නයි.

කෙසේ වූව ද ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී විමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22)හමු වුණා.

එසේම ජනපතිවරයා ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) අතර හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව තිබෙනවා.

තව ද රනිල් වික්‍රමසිංහ විසින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හමුව වුණා. ඒහි දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද ඔහු එක්ව තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” යන මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාවක් සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී ඇති අතර මෙම වට මේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළඳ කටයුතු පිළිබඳ අවස්ථා ගවේෂණය කරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර 40කට අධික ප්‍රමාණයක ප්‍රධානීන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් සහ ඇමරිකා එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland)අතර හමුවක් ද සිදු වුණා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉරාන ජනාධිපති ආචාර්ය Seyyed Ebrahim raisi නිල වශයෙන් හමුව තිබෙනවා.

තව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් අතර ද නිල හමුවක් පැවැත්වුණා.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර ද හමුවක් සිදුව තිබුණා.

මේ අවස්ථා සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ එම්. යූ. එම්. අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන අය එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles